පිරිවෙන් සහ දහම්පාසල් සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා - අධ්‍යාපන අමාත්‍ය

අගෝ 27, 2020

    මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ශ්‍රී ලංකාව තුළ විසිරී තිබෙන 800කට අධික පිරිවෙන් සහ 11 000කට අධික දහම් පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ, (25) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති හමුවට එක්වෙමිනි

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “මෙරට පාසල්පද්ධතියට ලබා දෙන ප්‍රමුඛතාවෙන් සුළු ප්‍රමාණයක්වත් දැනට පිරිවෙන් සහ දහම් පාසල් සඳහා ලැබෙන්නේ නැහැ. ඒ නිසා වහාම ඒ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කළ යුතු යි. විශේෂයෙන් ම ඒවාට ලැබෙන පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි යි.

    සමහර දහම් පාසල්වල දරුවන් ඉගෙන ගන්නේ පුටුවක්වත් නොමැතිවයි. ඇතැම් පිරිවෙන් සහ විද්‍යායතනවලට, ඇතැම් පාසල්වලට පවා නොමැති පහසුකම් ලැබෙද්දී තවත් දහම් පාසලකට ඉඳගන්නට පුටුවක් පවා නොලැබීම කණගාටුවට කරුණක්. ඒ නිසා සම්පත් සම ව බෙදී යන ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත්, පහසුකම් සංවර්ධනයටත් කටයුතු කළ යුතු යි. එමෙන් ම ඒ සඳහා ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ නිසි ඇගැයීමක් සහ දිරිගැන්වීමක් මෙන් ම නියාමනයක් ද අවශ්‍ය යි.

    සංඝ රත්නයට අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳව ද අපගේ විශේෂ අවධානය යොමු විය යුතු යි. පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනය පිළිබඳ පසුගිය රජය විසින් නිසි සොයා බැලීමක් සිදු නොකිරීම මීට ප්‍රධාන හේතුව යි. අපි වහා ම ඒ අඩු පාඩුව නිවැරදි කළ යුතු යි. සියල්ලන්ට සම සමව පහසුකම් ලබා දී ඒවායේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු සැලසියයුතු යැයි ද ” පැවසීය.

    බෞද්ධ අධ්‍යාපනයසඳහා වෙනත් රටවල ශිෂ්‍යත්ව පිරි නැමීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වපිරි නැමීම ආදිය පිළිබඳ සොයා බැලිය යුතු බවත්, විදේශයන්හි අධ්‍යාපනය ලබන, එම රටවලපදිංචි වී සිටින ස්වාමීන් වහන්සේලාගේ සහයෝගය මේ සඳහා ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා,“දැනට දහම් පාසල් ගුරුවරුන් සඳහා වර්ෂයකට රු.5000ක මුදලක් පුස්තකාල දීමනාවක් වශයෙන් ලබා දෙනවා. එය වැඩි කිරීමට ඇති හැකියාව අපි සොයා බැලිය යුතු යි. දහම් පාසල් අධ්‍යාපනයලබන ලක්ෂ 33කට ආසන්න පිරිසට අමතර ව දහම් අධ්‍යාපනය නොලබන දරු දැරියන් ඒ කෙරෙහි යොමු කරවා ගැනීම පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි. පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක්සිටිය දී දහම් අධ්‍යාපනය නොලබන සිසුන් ඒ කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතුයි.

    එය අවම වශයෙන් ලක්ෂ 35ක්වත් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු යි. එමෙන් ම දහම් පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය සුදුසුකම් රාමුවක්, වැටුප් හෝ දීමනා සහ පහසුකම් ලබා දීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි” පැවසී ය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු පිරිසක් එක් වූහ.

    Latest News