ලොකුම ණය ගෙවන මංගලගේ අයවැය

ජන 08, 2019

    2019 අයවැයේ ඇස්තමේන්තු ගත සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. 

    එ සඳහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (07) ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ. මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම වත්මන් රජය බලයට පැමිණිමෙන් පසුව ක්‍රමිකව වැඩිකර ඇත. එය 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩිවනු ඇති බවට ගණන් බලා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

    2019 අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ වලට ප්‍රතිපාදන වෙන් කෙරේ.

    දැනට සිදුකරමින් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේන් 2021 වනවිට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% ක් දක්වා වැඩිකිරීමත්, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමාකිරීමට රජය අපේක්ෂා කරයි.

    2019 වසර සඳහා ණය ආපසු ගෙවිම් වෙනුවෙන් රු. බිලියන 2,200 ක් වෙන්කර තිබේ. මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බව මුදල් අමත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් රු. බිලියන 1,425 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 838 ක් ද වෙන්කර ඇත.

    2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ. එ අනුව අයවැය යෝජනාව මාර්තු මස 05 වනදා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 13:25

    Latest News