ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් - එක්සත් රාජධානිය (වීඩියෝ)

අගෝ 26, 2020
  • නව රජය යටතේ, ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් බව, එක්සත් රාජධානිය පවසයි.

    එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වන්ස්ටෝල් මහත්මිය මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ හමුවූ අවස්ථාවේදී.

    දෙරට එක්ව ක්‍රියා කළ හැකි ක්‍ෂේත්‍ර රැසක් පිළිබඳ වන්ස්ටෝල් මහත්මිය සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ජා කර තිබේ. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයට ඇය අග්‍රාමාත්‍යවරයාට සුභාශිංසන පළ කළාය. වැඩබලන මහ කොමසාරිස්වරිය කියා සිටියේ, එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය රවී ජයවර්ධන මහතා ද, ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.

    මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ, නව රජයේ මූලිකම අරමුණ කොවිඩ් 19 වසංගතයට පසුව රටේ ආර්ථික සංවර්ධනය බවයි. ව්‍යාපාර සබඳතා ඉහළ නැංවීම, කුඩා හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නැංවීම සහ දිළිඳුකම තුරන් කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව ද එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:01

    Latest News