කම්කරු මරණයක දී ගෙවන වන්දිය ලක්ෂ 20ක් කිරීමට සැලසුම්

අගෝ 21, 2020

    වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම අසරණ වන බැවින් රුපියල් ලක්ෂ 05 ක වන්දි වෙනුවට එම වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව අමාත්‍යවරයා පසුගිය දා (19) කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී පැවසීය.

    වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මෙම කම්කරු උපදේශක සභාව ඊයේ නව ඇමතිවරයා සමඟ ප්‍රථමවරට රැස්වූහ. මෙහිදී තවදුරටත් ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් ප්‍රකාශ කළේ, මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් යෝජනා කරන බවයි.

    ඒ අනුව, මෙම නඩු සියල්ලම කම්කරු විනිශ්චය සභාවලට යොමු කළ යුතු බව ඇමතිවරයා පැවසීය. එවිට දිග්ගැස්සෙන මෙම වන්දි නඩු මාස 02 ක් තුළ අවසන් කළ හැකිවනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය. සේවා යෝජකයා ආරක්ෂා කර ගනිමින් සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් ඒ තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසීය.

    දැනට පවතින්නේ පැරණි කම්කරු නීතිය. සේවකයාගේ හා සේව්‍යාගේ එකඟතාවය මත කම්කරු සමිති නියෝජිතයන් විසින් කෙටුම්පත් කර ඇති නව අණපනත් පිළිබඳ සාධනීය පියවරක් කඩිනමින් ගන්නා බව ඇමතිවරයා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ද එක්වූහ.

    Latest News