නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වාරණ නියෝගය

ජූනි 07, 2022

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය විසින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත වාරණ නියෝගයක් නිකුත් කළා.

    නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.

    එම වාරණ නියෝගය ලබන 20 වනදා තෙක් බලපැවැත්වෙන බව ද නියෝගයේ සඳහන් වුණා.

    එදින මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ලේකම් දයාසිරි ජයසේකර, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය වෙත විනිසුරුවරිය නොතීසි නිකුත් කළා.

    දිසා විනිසුරු වරිය නිකුත් කළ වාරණ නියෝගයට අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම ,විධායක සභාව ,දිස්ත්‍රික් නායකත්වයෙන් ,ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සහ සියලු තනතුරුවලින් ඉවත් කිරීම අත්හිටුවා තිබේ.

    නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය වරයා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසුව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉකුත් මැයි මස 13 වන දා පැවති බවයි.

    එම රැස්වීමේදී අමාත්‍ය ධූර බාර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බව ද ඔහු සඳහන් කළා.

    ඉන් අනතුරුව තමන්ව මධ්‍යම කාරක සභා රැස්වීම් වලට කැඳවීමක් නොකෙරුනු බවත් ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කළා.

    ඉන් අනතුරුව රජයේ අමාත්‍ය ධුර බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දක්වමින් එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් ඇතැයි සඳහන් කරන පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ පිළිබඳව තමන්ව දැනුවත් කර නොමැති බවත් කියා සිටියා.

    කෙසේ වෙතත් තමා රටේ යහපත උදෙසා අමාත්‍ය තනතුරක් භාරගැනීමට තීරණය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරනු ලබන ජේෂ්ඨ උප සභාපති ඇතුළු සෙසු තනතුරු වලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඔහු කියා සිටියා.

    මේ ආකාරයෙන් සිය නිලතල හා තනතුරු අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එහි මධ්‍යම කාරක සභාවට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

    එබැවින් මෙලෙස තමන්ව පක්ෂ නිලතල වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ බාධා කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් සහ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News