නිමල් සිරිපාලට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ජූලි 25, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර අදාල අතුරු නියෝගය අගෝස්තු මස 06 වනදා බල පැවැත්වෙන බවත් සඳහන් කළා.

    පෙත්සම්කරු කියා සිටින්නේ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් වරයා වූ තිලංග සුමතිපාල මහතා කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල් වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට ඒ මහතා විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
    අයුතු ලෙස රදවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
    එය සලකා බැලූ මාලගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බවත් සඳහන් කළා.
    ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මත වූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
    එමෙන්ම තමන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචාදීකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News