Facebook සාදයක් වටලා 24ක් අත්අඩංගුවට

අගෝ 10, 2020

    මිල්ලනිය, වැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (09) සවස 4.30ට පමණ වැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි.

    එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති 5ක් පොලිස් බාරයට ගැණිනි.

    සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිල්ලනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

    මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

    සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

    මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News