සියලු විදුලි පාරිභෝගිකයින්ට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා සහනයක්

ජූලි 30, 2020

    සියලු විදුලි පාරිභෝගිකයින්ට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා රු. කෝටි 300 ක සහනයක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරිනීතිය පනවන ලද මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සම්බන්ධව මහජනතාවගෙන් විවිධ චෝදනා එල්ලවී තිබිණි. ඒ අනුව එම මාස 03 සදහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබාදිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේය. විශේෂයෙන් මහජනතාවට නිවෙස්වල රැදී සිටින ලෙස උපදෙස් දෙන ලද්දේ රජය වන බැවින් එසේ නිවෙස්වල රැදී සිටි ජනතාව වැඩිපුර විදුලිය පරිභෝජනය කර තිබෙන නිසා එම වියදම රජය විසින් දැරිය යුතුයැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා, යෝජිත පරිදි විදුලි පාරිභෝගික ජනතාවට සහන සැලසීම පිණිස කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ලංකා විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් වෙත 2020 ජූලි 23 දින අමාත්‍ය මණ්ඩල තීරණ මගින් දැනුම් දී ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ අමාත්‍ය මණ්ඩල සංදේශය පරිදි සියලු විදුලි පාරිභෝගිකයින්ට මාර්තු සිට මැයි දක්වා සහන සැලසීම සදහා ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (30) දින ප්‍රකාශ කළේය.

    විදුලිබල මණ්ඩලයට 2020 අවසන් වනවිට රු. බිලියන 93 ක පාඩුවක් සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබුණත්, රජය විසින් ගන්නා ලද සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් එම අලාභය රු. බිලියන 63 ක් දක්වා අවම කරගැනීමට හැකිවී තිබේ. ලෝක වෙළදපලේ ඉන්ධන මිල පහලයාම මත පනවන ලද විශේෂ බද්ද නිසා රු. බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලයේ ණය වශයෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාවට රජය විසින් ගෙවා දමනු ලැබීය.

    එම නිසා තවත් රු. බිලියන 3 ක් එනම් රු. කෝටි 300 ක මුදලක් වැය කර විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට ලං.වි.ම. තීරණය කර ඇත.

    ඒ යටතේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 67 ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයින් වෙත එම සහනය හිමිවේ. මින් පෙර සදහන් කල පරිදිම මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සදහා ගෙවිය යුත්තේ පෙබරවාරි මාසය වෙනුවෙන් ගෙවන ලද බිල්පතෙහි සදහන් මුදල වන අතර ඉහත සදහන් කළ මාස 03 තුළ ඊට වඩා අඩු බිලක් ලැබී ඇත්තේනම් එම මුදල ගෙවීමට පිළිවන. කෙසේ වුවද කිසියම් පාරිභෝගිකයෙකු වෙත ලැබුණ බිල්පතෙහි සඳහන් පරිදි ඔහු විසින් ලං.වි.ම.ට වැඩි මුදලක් ගෙවා ඇත්නම් ලංවිම සතුව තිබෙන එම පුද්ගලයින්ගේ ගිණූම්වලට එම අතිරික්ත මුදල් බැර වේ. ඒ අනුව ඉදිරි මාස වල බිල්පත් වලට එම මුදල් හිලව් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගනු ඇත.

    Latest News