නාමල්ට අධිකරණයෙන් මාධ්‍ය තහනමක්

ජන 04, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව මාධ්‍යට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝග කළේය.

    පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශයන්ට නාමල් කුමාර මාධ්‍යට අදහස් දැක්වීම බාධාවක් බව දැනුම් දෙමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය නිකුත කලේය.

    පැමිණිල්ල යොමු කළ දින සිට මේ දක්වා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට දක්වා ඇති අදහස් රහස් පොලිසියට ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා එම කරුණු ප්‍රචාරය වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අදාළ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙස නියෝග කළේය. පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශයන්ට නාමල් කුමාර වරින් වර මාධ්‍යට අදහස් දැක්වීම බාධාවක් බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සිද්ධියට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා භාරයේ තිබී අත්අඩංගුවට ගත් එල්. එම්. ජී. ගිනි අවි දෙක පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මුදා හරින ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කළේය. පොලිස් නිලධාරීයකු සතුව තිබූ අවි ඔහු සේවයේ යෙදී සිටින ආයතනයක් වන පොලිසියටම මුදා හැරීම සිදු නොකළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රදවා ඇති ස්ථානයේම එම ගිනි අවි දෙක රදවා තබන ලෙස නියෝග කළේය.

    සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ලබන 16 අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

    Latest News