නාමල්ගේ දුරකථන සංවාදය ගැන රස පරීක්ෂක වාර්තාවක්

ජන 02, 2019

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අත්අඩංගුවට ගත්තේ ප්‍රභුවරුන් ඝාතන කිරීමට කුමන්ත්‍රණ කල බව පැහැදිලි සාක්ෂි ඇති බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දී තිබේ.

    එම ඝාතනය සැලසුම් කර ආකාරය දක්වන තොරතුරු මුදා තැබූ ලියුම් කවරයක දමා නාමල් කුමාර වෙත එවන බව නාලක සිල්වා මහතා කල ප්‍රකාශයද එම දුරකථන සංවාද වල ඇතුළත් බවද ඔවුන් කිය සිටියේය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    මේ අතර දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිඋත්පාදනය දුරකථන සංවාදයන් සඳහා රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නේය.

    නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ මකාදමා තිබූ තොරතුරුවලින් වීඩියෝ පට 26ක්, දුරකථන සම්බන්ධතා 427ක්, ඡායාරූප 4021ක් සහ විනාඩි 60ක බැගින් තැටි ගත කළ සීඩි 3ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටිගේ මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනූව, පටිගත වී ඇති දුරකථන සංවාද සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ එම පටිගතව ඇති හඬ පටවල ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ හා නාමල් කුමාරගේ ද යන්න නිශ්චිතව දැන ගැනීමට රස පරීක්ෂක වාර්තාවක් ලබා ගත යුතු බවයි.

    නාමල් කුමාර මීට පෙර ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ සේවය කර පළාගොස් ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටිගේ මහතා කියා සිටියේය. ගුවන් හමුදාවට සම්බන්ධ වීම සඳහා ලබා දී ඇති අධ්‍යාපන සහතිකයේ අධි සම්මාන 2ක් විශිෂ්ඨ සම්මාන 3ක් සමඟ විෂයන් 10ක් සමත් වූ බවට දක්වා තිබුණ ද අධ්‍යාපන සහතික පරීක්ෂාවේ දී හෙළිවී ඇත්තේ ඔහු, විෂයන් 3ක් පමණක් සමත්ව ඇති බවයි.

    අද නඩුව කැඳවූ අවස්ථාවේදී නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවා දායකයා සුවිශේෂි පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි එකතු කරමින් සිටින බැවින් තම සේවා දායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. එ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් සිටින බවත් මේ හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් පවතින ස්වාධීනත්වය විශ්වාසය කඩවන බවත් ඔහු කියා සිටියේය.

    අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව කිසිදු පුද්ගලික අරමුණු වලට විමර්ශන සිදු නොකරන බවත් සමස්ත විමර්ශන ක්‍රියාවලියම පැමිණිල්ල යොමු වීමෙන් අනතුරුව සමස්ත හඬ පට සහ සාක්ෂි දීර්ඝ වශයෙන් විමර්ශන කරමින් විමර්ශන සිදු කරන බව අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ලොකුහෙට්ටි අධිකරණයට කියා සිටියේය.

    එමෙන්ම නීතියට අදාළ කරුණූ පමණක් අධිකරණයට ඉදිරිපත් කිරිමට නීතිඥ මහතාට හැකියාවක් ඇති බවත් රටේ වැදගත්ම ආයතනයක් වන සමස්ත අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් නීතිඥ මහතාට අවවාද කරන ලෙස අධිකරණයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා ඉල්ලි කලේය.

    මේ අතර සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ සිටින ඉන්දීය ජාතිකයා රෝ ඔත්තු සේවයට සම්බන්ද බවට මත ප්‍රකාශ වී ඇති බව අධිකරණයට අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, මේ සිද්යිය සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා. ඔහු නාමල් කුමාර යන අයගේ නිවසට ගොස් ඇති බවත් මේ වන විටත් සැකකරු සම්බන්දයෙන් විමර්ශනයක් සිදු කරන බවත් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දිනි.

    සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කඩිනමින් සිදු කරන ලෙස අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ඉන්දියානු ජාතිකයා මේ මස 16 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. 

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 19:29

    Latest News