වැහිලිහිණි කූඩු විනාශ කිරීමේ ජාවාරමක්

ජන 04, 2019

    කැදලි තුලිතයා වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනතට අනුව, 1964 වසරේ දී ආරක්‍ෂිත පක්‍ෂියෙකු ලෙස නම් කරනු ලැබුවා.

    එහෙත්, අද වනවිට මිත්‍යා මතයක් හේතුවෙන් මෙම සත්වයාගේ කූඩු විනාශ කිරීම මහා පරිමාණයෙන් සිදුවන බව, පරිසරවේදීන් පෙන්වා දෙනවා. වැහිලිහිණියා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කැදලි තුලිතයා.

    තුලිත විශේෂයට අයත් කුඩා කුරුළු විශේෂයක් වන මේ පක්‍ෂීන් ගේ කුරුල්ලාටත් වඩා කුඩා වන අතර, සිහින් සිරුරක් හා දිගු පියාපත් සහිතයි. කුඩා හොටයක් සහ පළල් මුඛයක් හිමි මේ සතුන් ජීවිතයේ වැඩි ප්‍රමාණයක් දිවා කාලයේ දී පියාසර කරමින් කල් ගෙවන අතර, ආහාර සොයා ගන්නේ ද එහිදීයි. පියාඹන කෘමි සතුන් ආහාරයට ගන්නා බැවින් ගොවියාගේ මිතුරා ලෙසත් කැදලි තුලිතයා හඳුන්වනවා.

    සිංගිමලේ රක්‍ෂිතය හරහා ඉදිකර ඇති මෙරට දිගම උමං මාර්ගය වන සිංගිමලේ උමං මාර්ගයේ වැහිලිහිණි කූඩු අතිවිශාල සංඛ්‍යාවක් බැඳ තිබෙන අයුරු දැකගත හැකියි. මේ පක්‍ෂීන් රාත්‍රී කාලය ගත කරන්නේ එම ස්ථානයේ. ඔබ මේ දකින්නේ, උමඟේ බැඳ ඇති වැහිලිහිණි කූඩු ජාවාරම්කරුවන් විසින් රාත්‍රී කාලයේ දී කඩා දමා ඇති ආකාරයයි. ඇතැම් කූඩුවල වැහිලිහිණි වැටවුන් ද විශාල වශයෙන් රැඳී සිට තිබෙනවා.

    vahi px 900 19 01 05

    උණ බටවලින් සැකසූ ඉනිමං යොදා ගනිමින් උමං මාර්ගයේ ගල මුදුනේ බැඳ තිබෙන වැහිලිහිණි කූඩු පවා තියුණු ආයුධවලින් සුරා කඩා දැමීම සිදු කෙරෙන බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ. ජාවාරම්කරුවන් කූඩුවල සිටින පැටවුන් සහ බිත්තර දුම්රිය මාර්ගයේ අතහැර දමා, කූඩු පමණක් රැගෙන ගොස්, ඒවා ඉතා අධික මිල ගණන්වලට අලෙවි කරනවා.

    සිංගිමලේ පමණක් නොව උඩරට දුම්රිය මාර්ගයේ වැහිලිහිණි කූඩු බැඳ ඇති සෑම උමං මාර්ගයකම මේ ජාවාරම සිදුවන බවයි අනාවරණය වී ඇත්තේ. කැදලි තුලිතයා මරණයට පත්කිරීම, හානි කිරීම, බිත්තර හා කැදලිවලට හානි කිරීම, විකිණීම හා ප්‍රදර්ශනය ද වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනතින් තහනම් කරුණක්.

    එහෙත්, අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින මෙම සත්ව ජාවාරම මැඩපවත්වා එම පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්නා ලෙස, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් ආරක්‍ෂක අංශවලින් තවදුරටත් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත්, පරිසරයට අත්‍යවශ්‍ය මේ සත්වයා වඳවීයාම වැඩි ඈතක නොවනු ඇති.

    Latest News