පාසල් අතුරු නිවාඩුව තවත් සතියක් දීර්ඝ කෙරේ (වීඩියෝ)

ජූලි 18, 2020
  • පාසල් අතුරු නිවාඩුව තවත් සතියක් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටින්නේ, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්වය පවත්වන දින ලබන 20 වැනි සඳුදා ප්‍රකාශයට පත්කරන බවයි. එමෙන්ම රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු 10 වැනි දිනට පෙර විවෘත නොකරන බව එම නිවේදනයේ සඳහන්.

    දරුවන්ගේ සුරක්‍ෂිතභාවය පමණක් අරමුණු කොට ගනිමින් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව ලබන සඳුදා අවසන් වීමට නියමිතයි. ඒ පිළිබඳව අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර, පුළුල් සාකච්ජා වට කිහිපයක් පැවැත්විණ. එහිදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අචල ස්ථාවරය වන්නේ මේ වනවිට වාර්තා වන අන්දමට මෙරට තුළ කොවිඩ්-19 රෝගය සමාජ සං‍ප්‍රේෂණයකට දැනට ඉඩක් නොමැති බවයි.

    දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 5ක සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් නිරෝධායනයේ පසුවීමද, ඔවුන්ගේ පීසීආර් වාර්තා නිකුත් කරනු ලබන්නේ ඉදිරි දින කිහිපය තුළදී බැවින් සහ දැනට දරුවන් තිදෙනෙකු ආසාදිතයන්ව ඇති බව ද සැලකිල්ලට ගනිමින් කිසිදු බාධාවකින් හෝ අනතුරකින් තොරව පාසල් පවත්වාගෙන යාමේ අරමුණු පෙරදැරිව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ. තවත් සතියක්, පාසල් දරුවන් සමාජයෙන් වෙන්කොට තැබීම ඔවුන්ගේ සුරක්‍ෂිත බව සහතික කිරීම සඳහා ගතහැකි වඩාත් අර්ථාන්විත ක්‍රියාමාර්ගය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව පාසල් ආරම්භ කිරීමේ දිනය ජුලි මස 27 වැනිදා වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ, 11,12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණි. මැතිවරණයෙන් පසු එළඹෙන පළමු සඳදා දින එනම් අගෝස්තු මස 10 වැනිදා පාසල් අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීමට සුදුසු අවස්ථාව වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශයයි.

    එහෙත්, රාජාංගනය හා වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසවල කිසිදු පාසලක් අගෝස්තු 10 වැනි දිනට පෙර ආරම්භ නොකරන ලෙස ද අදාළ බලධාරින්ට උපදෙස් දී තිබේ. එමෙන්ම බහුතර සිසුන් සහ ගුරුවරුන් කළ ඉල්ලීම දයාබරව සළකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින හා වකවානු ජුලි 20 වැනි සඳුදා ප්‍රකාශයට පත්කරනු ඇත. උසස් පෙළ විභාගයේ පීඩනයෙන් සහ ආතතියෙන් වික්ෂිප්තව සිටින දරු දැරියන්ගේ ආකල්පය සහ අපේක්‍ෂාවන් පිලිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පවතිනුයේ පීතෘත්වයෙන් පිරි සංවේදී හැඟීමක්.

    ගෝලීය වසංගත තත්වය හමුවේ කම්පනයට හා තිගැස්මට ලක්වීමෙන් අධ්‍යාපන කටයුතුවලට ඇති වූ බාධාව අභියෝගයක් කර ගනිමින් දැඩි ආත්ම විශ්වාසයෙන් නියමිත දිනයේ සෞඛ්‍ය පුරුදුවලට ගරු කරමින් පාසල් වෙත මෙන්ම විභාග ශාලා වෙත පැමිණෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික සිසු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. සිසු දරුවන්ගේ ගෞරවණීය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔබට අවැසි ධෛර්යය සහ මඟ පෙන්වීම ලබාදෙනු නිසැක බව ද නිවේදනයේ සඳහන්.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:14

    Latest News