කොවිඩ්-19; 2012 කට පූර්ණ සුවය

ජූලි 18, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2012 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

    ප්‍රතිශතයක් ලෙස එය 74.60ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් දස දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් තිදෙනෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. තවත් තිදෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයන් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද ඊයේ හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් අතර වේ. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2012 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 74.60ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 674 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 24.99ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත නාවික හමුදා සාමාජිකයන් අතරින් 901 දෙනෙකුම මේ වනවිට සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 99.44ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 5 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 0.55ක්.

    අද වනවිට මෙරට තුළ සිදුකර ඇති පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 32,796ක්. ඊයේ දිනය තුළ ද පීසීආර් පරීක්‍ෂණ 1780ක් සිදුකර තිබේ.

    මේ අතර අද වනවිට 23,286 දෙනෙකු මෙරට තුළ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 56ක් තුළ තවදුරටත් 6711 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 550ක්. ඔවුන්ගෙන් 444 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවියන්. තවත් 64 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින්. ඉතිරි 42 දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ සමීපතමයින්.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් වන වැලිමඩ මීරගහවත්ත සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවල 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. ඊයේ ඔවුන්ගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරුණේ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී.

    අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශයේ සංචරණය මේ වනවිට සීමාකර තිබේ. ප්‍රදේශයේ එළවළු සහ පළතුරු ගොවීන් තම ඵලදාව අලෙවි කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටී. රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් යුද හමුදාවේ සැපයුම් ඒකකය මගින් ගොවිබිම්වලටම පැමිණ එම අවස්ථාවේදීම මුදල් ගෙවා එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. අද දිනයේ ද ගොවීන්ගෙන් කෙසෙල් කිලෝ 5000ක පමණ ප්‍රමාණයක් මිලදී ගත් බව අප වාර්තාකරු පවසයි.

    මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඊට 219 ක් අයත්.

    Latest News