කොවිඩ් නිසා මියගිය විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රු. ලක්ෂ 5ක්

ජූලි 17, 2020

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගතව සිටියදී කොවිඩ්-19 වැළඳී මරණයට පත්වී ඇති ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනමන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

    ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඇති කර ගෙන තිබෙන 2019 ගිවිසුමට අනුව, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයකදී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5, කොවිඩ් 19 රෝගය වැළදී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද ගෙවන අතර, දැනටමත් ඒ සඳහා 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරගෙන යමින් තිබේ.

    2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇත. එමෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවා තිබියදී එය අළුත් නොකර සේවය කරමින් සිටියදී මියයන අය වෙනුවෙන් රක්ෂණ වන්දි හිමි නොවන අතර , ඒ අය වෙනුවෙන් කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමේ.

    මෙම වර්ෂයේ ගෙවුණු මාස 6 තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 40,143ක් වෙනුවෙන් නොමිළේ ලබාදෙන සහන රක්ෂණ හිමිකම පිරිනැමීම සඳහා කාර්යාංශය විසින් රක්ෂණ වාරික ලෙස රු.26,330,000.00ක මුදලක් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවා තිබේ.

    මෙයට අමතරව මියගිය සෑම අයකුගේම ආගමික කටයුතු සඳහා රු.40,000.00 බැගින් පිරිනැමේ. මියගිය අයගේ ආගමික කටයුතු සඳහා ගෙවන මුදල මීට පෙර රු.30.000 ව පැවති අතර, කොවිඩ් 19 හේතුවෙන් මිය යන අය වෙනුවෙන් එය රු 10.000 කින් වැඩිකර ඇත.

    මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර එයින් පිරිමි ශ්‍රමිකයින් 37ක් හා කාන්තා ශ්‍රමිකයින් 3ක් වේ. සෞදි අරාබියෙන් 18ක්ද, කුවේට් 9ක්, එක්සත් අරාබි එමීර් 8ක්, ඕමාන් කටාර් 2 බැගින් හා එක් මරණයක් ලෙබනන් වලින් වාර්තා වේ.

    Latest News