වැඩි කරන ලද විශ්‍රාම වැටුප ගන්න 95දෙනකුගෙන් පෙත්සමක්

ජූලි 17, 2020

    විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 29 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 29 දා කැඳවන ලෙසයි.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු 3/2016 නමැති චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණය කරන බවයි.

    ඒ අනුව පසුගිය ජනවාරි මස විශ්‍රාම වැටුප සමග විශ්‍රාමිකයින්ට රුපියල් 10000 ක් දක්වා වැටුප් වැඩි වීමක් හිමිවීමට නියමිතව තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නිකුත් කළ 35/2019 (3) නමැති චක්‍ර ලේබය මගින් විශ්‍රාමිකයන්ට වැඩි කරන ලද විශ්‍රාම වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් එක් ලක්ෂ දහ දාහකට අධික මෙරට විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි කියා සිටින්නේ.

    ඒ අනුව විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණ ආයැද සිටින්නේ.

    Latest News