මෙරට ඉතිහාසයේ පළමුවරට පත්කෙරුණු “මැදිහත්කරුවන්”

ජූලි 16, 2020

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන්වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් පත් කර තිබෙනවා.

    මෙලෙස පත්වීම් ලබාදී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙක් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    අද (16) දින අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති නිල උත්සවයකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් වෙත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පත්වීම් ලිපි ලබා දෙනු ලැබුවා.

    9/11 ප්‍රහාරයෙන් පසු ලෝකයේ ගුවන් සේවා කර්මාන්තයට ඇති වූ තර්ජන හමුවේ එය විකාශනය වී ඇති ආකාරය සහ අනාගතයේ දී එවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කාලෝචිත පියවරක් ලෙස මෙම පත් කිරීම සිදුකර තිබේ.

    මීට අමතරව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ නව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් කණ්ඩායම ගුවන් සේවා නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු බවත්, ඔවුන්ගේ සේවා හැකියාව ඉහළ නැංවීම සඳහා විධිවිධාන යොදා ඇති බවයි.

    ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායම 2016 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී පුහුණුවක් ලබා ඇත.

    පත්වීම් ලැබූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායමට ගුවන් සමාගම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලබා දෙනු ඇත.

    Latest News