කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ ගැන අලුත්ම හෙළිදරව්වක් (වීඩියෝ)

ජූලි 16, 2020
  • පාස්කු ප්‍රහාරයේ කටුවාපිටිය දේවස්ථානයට පැමිණි බෝම්බකරුගේ බිරිඳ මරණයට පත්ව නැතැයි හෙළිවේ.

    එම ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වූ දෙමළ ජාතික කාන්තාව කල්මුණේ, සායින්දමරුදු හි ඊට පසු සිදුවූ බෝම්බ පිපිරීමෙන්‌ මියගොස්‌ නැතැයි හෙළි වී තිබෙනවා. 2019 අප්‍රේල්‌ 26 වැනිදා රාතියේ එහි පිපිරීම සිදුවීමට පෙර අදාළ කාන්තාව එම නිවසින්‌ පිටත්ව ගොස්‌ පසුව ශ්‍රී ලංකාවෙන්‌ ද පලා ගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ.

    මේ බව තහවුරු වන්නේ එම තැනැන්නියගේ ඥාතියෙකු මඩකලපුව, කලුවාන්චිකුඩි ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින්‌ ඉකුත්‌ 13 වැනිදා අත්‌අඩංගුවට ගනු ලැබීමෙන්‌ අනතුරුවයි. ඊට අදාළ සාක්‍ෂි වසන්‌ කිරීමේ චෝදනාවක්‌ මත අම්පාර පොලිස්‌ ප්‍රවාහන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු ද එදිනම අත්‌අඩංගුවට ගනු ලැබුවා. එම නිලධාරියා පාස්කු ප්‍රහාර මාලාව සිදුවන විට සේවය කර ඇත්තේ කලුවාන්චිකුඩි පොලිස්‌ ස්ථානයේ.

    2019 අප්‍රේල්‌ 21 වැනිදා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්‌ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අච්චි මොහොමදු හස්තූන්‌ නමැනි ත්‍රස්තවාදියාගේ බිරිඳ වූ පුලස්තිනි රාජේන්ද්‍රන්‌ හෙවත්‌ සාරා නමැත්තිය අපේල්‌ 26 වැනිදා සායින්දමරුදු, බොලිවේරියන් ගම්මානයේ නිවසක සිදුවූ පිපිරීමෙන්‌ මියගිය බව වාර්තා වී තිබුණා.

    ඇය බෝම්බකරුවන්‌ සහ අන්නවාදී ක්‍රියාකාරකම්වලට 'සම්බන්ධවූවන්ගේ ලැයිස්තුවේ සිටින්නියක්‌ බව, එවකට වාර්තා පළ වී තිබුණා. පසුදින සිදුකළ සෝදිසියේදී මියගිය 15 දෙනෙකුගේ පමණ සිරුරු කොටස්‌ සොයා ගත්‌ අතර, අන්නවාදී කල්ලියේ ප්‍රධාන බෝම්බකරුවා වූ සහරාන්‌ හෂීම්ගේ බිරිඳ සහ දියණියගේ දිවි ගලවා ගැනීමට ආරක්ෂක අංශ සමත්‌ වුණා. පසුව දැඩි ලෙස විනාශ වී තිබූ 'මළසිරුරුවල අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කළ නමුන්‌, පුලස්තිනි රාජේන්ද්‍රන්‌ හෙවත්‌ සාරා නමැත්තියගේ DNA වාර්තා ඔවුන්ගේ මව්පියන්‌ සමග 'සංසන්දනය නොවන බව තහවුරු වුණා. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, කිසිවෙකුගේ හෝ සහය හා ආරක්ෂාව යටතේ ඇය සැඟවී සිටිමින්‌ ඉකුත්‌ වසරේ බෝට්ටුවකින්‌ විදේශගත වී ඇති බවයි. බලහත්කාරයෙන්‌ ඉස්ලාම්‌ ආගමට නැඹුරු කරවා ගැනීමෙන්‌ පසු අච්චි මොහොමදු හස්තූන්‌ නමැත්තා ඇය විවාහ කරගෙන ඇති බව හෙළි වී තිබෙනවා. ඊට තව්හිද්‌ ජමාත්‌ සංවිධානයේ අබිදුල්‌ රාසික්‌ නමැන්තාගේ සහය ද ලැබී ඇති බවයි, පැවසෙන්නේ.

    පුලස්තිනී රාජේන්ද්‍රන්‌ නමැත්තිය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමට සම්බන්ධ නොවීම සහ එම සිදුවීම්‌ මග හරිමින් පලායාම යන සිදුවීම්‌ හේතුවෙන්‌ පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු ප්‍රහාරයට පෙර විදේශ බුද්ධි අංශයකට ලබා දුන්නේ ඇය ද යන්න ආරක්ෂක අංශවල විමර්ශනයට බඳුන්‌ වී තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජූලි 2020 20:22

    Latest News