ජනපති කම්කරු සංවිධාන ගෝලීය සමුලුව අමතයි

ජූලි 08, 2020

    කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය සමග විදෙස්ගත ශ්‍රමිකයන් මව්රට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රටින් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුය. ගත වූ මාස කිහිපය තුළ අන්තර්ජාතික ගුවන් ගමන් නවතා තිබිණ. එසේ වුවද එතෙර සිටී 15,000කට අධික පිරිසක් මව් රටට ගෙන්වා ගනු ලැබීය. එය රටේ ආර්ථිකයට මෙන්ම සේවා නියුක්තියට ද පීඩනයක් ඇති කළේය. ඒ සියල්ලට වඩා තම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වැදගත් බව ජනාධිපතිතුමා කියා සිටී.

    “කොවිඩ් 19 සහ වැඩ කරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාකරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අන්තර්ජාලය ඔස්සේ අද ඇමතූ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ජූලි 01 වැනිදා සිට 09 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කම්කරු සංවිධාන මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සමුළුවේ රාජ්‍ය නායක දිනය අදට (08) යෙදී තිබිණ. රටවල් රැසක නායකයෝ තම රටවල සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව ඇමතූහ.

    සේවකයන්, සේවා යෝජකයන් සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වය සහිත විශාලතම online සමුළුවමෙයයි.

    පශ්චාත් කොවිඩ් සමයේ “වැඩ ලෝකය” යථා තත්වයට පත් කර ගන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට රාජ්‍ය නායකයෝ මෙය වේදිකාවක් කර ගත්හ. සේවා නියුක්තිය වඩා ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද, වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති කණ්ඩායම්වලට සහයවිය හැකි ආකාරය සහ 2030 එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයේ ඇති ඉලක්ක සපුරා ගැනීමට අන්තර්ජාතික ප්‍රජාව එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොවිඩ් 19 වසංගතයට එරෙහිව ලෝ වැසි සියලුදෙනා සටන් වැද සිටින සංවේදී කාල පරිච්ඡේදයක “වැඩ ලෝකය” නොබිඳී පවත්වාගෙන යාමට සියලු රටවල් ගත් උත්සාහය  තමා අගය කරන බව ජනාධිපතිතුමා කීය.

    පවතින තත්ත්වය මත සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් ඇති රටවල ද “වැඩ ලෝකය” එක සේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව ඇතැයි රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් මෙරට ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානය යොමු කළ බව ජනාධිපතිතුමා පැවසීය.

    රටේ සක්‍රීය ශ්‍රම බලකාය ලක්ෂ 86කි. ඉන් ලක්ෂ 35කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළේය. අප්‍රේල් සහ මැයි මාසවල පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ප්‍රදානය කෙරිණ.

    පෙර පාසල්, ගුරුවරයාගේ සිට ස්වයං සහ දෛනික වැටුප් ලබන රැකියාවල නිරත සියලුදෙනාට ඉන් ප්‍රතිලාභ හිමි විය.

    විදෙස් රටවල සිට පැමිණි ශ්‍රමිකයන්ට නැවත එම රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළෙඳපොළට දායකවීමේ අවස්ථාව රට තුළ නිර්මාණය වී ඇත. එය “අපේ වැඩ ලෝකයේ” නව මුහුණුවරක් ඇතිකරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ නිපුණතා අංශය, පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත හැඩ ගැස්වීම කළයුතුය. අර්බුදය නිසා රැකියා අහිමිවූවන් බල ගැන්වීම සදහා  වන වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යළි පෙළගැස්වීම හා විධිමත් කිරීම සපුරාගනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එය නව සාමාන්‍ය තත්වයකට එළැඹීම සඳහා මෙරට “වැඩ ලෝකය” නැවත හැඩගැස්වීමේ අඩිතාලමක් බව ද ජනාධිපතිතුමා කියා සිටී. සෑම රටකම “වැඩ ලෝක” යෝග්‍ය පරිදි නැවත පෙළගැස්වීමට ව්‍යසනයෙන් අනතුරුව ආරක්ෂාකාරීව සහ ශක්තිමත් ලෙස නැගී සිටීමට එය උපකාරී වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් යන මහත්වරු ද සමුළුව ඇමතූහ.

    සමාජ ආරක්ෂණ ජාලයක සහ අන්තර්ජාතික රැකියා ආරක්ෂණ ජාලයක අවශ්‍යතාව පෙන්වා දුන් ඔව්හු ලෝකයම එකමුතුව අභියෝගය ජයගත යුතු බව අවධාරණය කළහ.

    Last modified on බදාදා, 08 ජූලි 2020 18:23

    Latest News