හිටපු ඇමති රංජන්ට එරෙහි අපහාස නඩුවේ වැඩිදුර දේශන ලබන 16

ජූලි 06, 2020

    හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඔහු විසින් සිදුකර තිබු ප්‍රකාශයෙන් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සියලු දෙනා තීරණය කිරීමෙන් අනතුරුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද කැදවනූ ලැබූ අවස්ථාවේදී වාචික දේශන ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා මේ බව ප්‍රකාශ කළා.

    වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සපයන ඉතිහාසගත නඩුවක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසුවා.

    වීනිසුරුවරු දූෂිත යැයි තමා විසින් ප්‍රකාශ කළේ වැරදීමකින් බව මූලින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තීබුණද පසුව ඔහු එම ස්ථාවරය වෙනස් කරමින් තමා විසින් ප්‍රකාශ කළ කරුණු සත්‍ය බවට අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පිළිගෙන තිබුණේ යෑයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

    මෙම නඩු කටයුත්ත ආරම්භ කිරීමෙන් පසුව අවස්ථා හතරකදී වග උත්තරකරු මෙම අධිකරණය සංකීර්ණය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මෙරට අධිකරණ පද්ධතිය විවේචනය කරමින් කරුණු දක්වා තිබූ බව සදහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම ප්‍රකාශ තුළින් ඔහු මෙම නඩුවට පාදක‍ වන ප්‍රශ්නගත ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයිද සඳහන් කළා.

    ඉන් අනතුරුව වැඩිදුර දේශන ලබන 16 වනදා දක්වා කල් තැබුණා.

    2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

    එම පැමිණිලි පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.

    Latest News