බදියුදීන්ගේ සොහොයුරුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් විරෝධතා

ජූලි 06, 2020

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතාගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කළ බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් සීමිත විරෝධතා ගොනු කර තිබෙන බව සඳහන් කළා.

    නීතිපතිවරයාගේ විරෝධතා සඳහා ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    තම සේවාදායකයා ඉකුත් අප්‍රේල් මස 14 වන දා සිට අත්අඩංගුවේ පසුවන බවත් එබැවින් මෙම නඩු කටයුත්ත හදිසි නඩු කටයුත්තක් සේ සලකා එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වනදා කැඳවීමට නියම කළා.

    අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.

    තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලිසිය මගින් කිසිදු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය පවසනවා.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් සිදු කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News