මෙරට කොවිඩ් 19 වැළඳුනු 81% කට සුවයි

ජූනි 28, 2020

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1661 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

    කොවිඩ්-19 රෝගය වැළඳී තවත් 19 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. ඔවුන් සියලු දෙනාම බංග්ලාදේශයේ ඩකා සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තාවේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1661 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 81%ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 361 දෙනෙකු පමණි.

    කොවිඩ්-19 රෝගයට ගොදුරු වූ නාවික හමුදා සාමාජිකයන් 910 දෙනාගෙන් 823 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, නාවික හමුදා සාමාජිකයින් 87 දෙනෙකු පමණි.

    ඩුබායි සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි තවත් පිරිසක් අද මෙරටට පැමිණියේය. ඩුබායි සිට පැමිණි පිරිස 51ක්. කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇත්තේ සිව් දෙනෙකු පමණි. සියලු දෙනා ගුවන් තොටුපළේදීම PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    මේ අතර පොදු ස්ථානවල රැඳී සිටින හා මාර්ගවල ගමන් කරන අවස්ථාවලදී මුඛ ආවරණ නොපළදින පුද්ගලයින් පිළිබඳව ගාල්ල පොලිසිය අද විශේෂ පරීක්‍ෂාවක් සිදු කළේය. පොලිසිය පවසන්නේ, එම පුද්ගලයන්ට නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    හක්මන මහජන පොළෙහි මුඛ ආවරණ නොමැතිව වෙළඳාමේ යෙදී සිටි වෙළෙඳුන්ට සහ පැමිණි පාරිභෝගිකයන්ට අවවාද කිරීම ඊයේ සිදු කරනු ලැබුවේ, හක්මන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ හක්මන පොලිසියේ නිලධාරීන් විසින්. ඉදිරියේදී සිදු කරන පරීක්‍ෂා කිරීම්වලදී උපදෙස් නොපිළිපදින පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔවුන් පැවසීය.

    Latest News