දින 105කට පසුව හෙට සිට පාසල් යළි විවෘත කෙරේ.

ජූනි 28, 2020

    මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ මෙරට පාසල් හෙට සිට යළි විවෘත කෙරේ.

    එහෙත්, දරුවන් හෙට පාසල්වලට පැමිණිය යුතු නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු 13 වැනිදා සිට සියලු පාසල් වසා දැමිණ. එමෙන්ම දහම් පාසල් සහ උපකාරක පන්ති ද වසා දැමීමට තීරණය කෙරුණේ, උද්ගතව වූ තත්වයට මුහුණදීම සඳහා.

    ඒ අනුව දින 105කට පසුව හෙට සිට පාසල් යළි විවෘත කෙරේ. පාසල් ආරම්භ වී පළමු සතිය විෂබීජානුහරණය ඇතුළු සෙසු කටයුතු සඳහා වෙන්කර තිබේ. ඒ අනුව එම දිනයන්හි පාසල්වලට පැමිණිය යුතු වන්නේ, අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණි.

    දෙවැනි අදියර යටතේ පාසල් විවෘත කෙරෙන්නේ ලබන 6 වැනිදායි. එදිනට 5, 11 සහ 13 ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල්වලට පැමිණිය යුතුවේ. තෙවැනි අදියර යටතේ 10 සහ 12 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එය සිදුවන්නේ, ලබන 20 වැනිදා සිටයි.

    හතරවන අදියර යටතේ, ලබන මස 27 වැනිදා සිට 3, 4, 6, 8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    Latest News