කරන්නාගොඩට එරෙහි නඩුව අත්හිටුවන්නැයි,දන්වමින් අතුරු තහනම් නියෝගයක්

ජූනි 25, 2020

    2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ සෝභිත රාජකරුණා විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

    මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බලපැවැත්වෙන අතර පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වැනි දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනු කළ රිට් පෙත්සම පසුගිය අඟහරුවාදා (ජුනි 23) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ කර තිබේ.

    එදින පෙත්සම සලකා බැලීමට ප්‍රථම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙම පෙත්සම ගොනු කර තිබෙන බවයි.

    වසර 135 ක ඉතිහාසය තුළ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පවසා ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 18:19

    Latest News