තේ සඳහා අය කරන ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවේ (වීඩියෝ)

ජූනි 18, 2020
  • ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය හිමිව ඇති අතර කසළ තේ යන නාමීකරණය පනතක් මගින් වෙනස් කිරීමට පියවර ගනී.

    මෙම අර්බුදකාරී සමය තුළ අපනයන ක්ෂේත්‍රය යථා තත්වයට පත් වන තුරු ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන රුපියල් 3.50 ක ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය .

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    වසර 137 ක් පමණ පැරණි කොළඹ තේ වෙන්දේසිය පසුගියදා අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පැවැත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ඔස්සේ අපනයන අවස්ථා රැසක් විවර වූ බවද සඳහන් කළේය. ඒ අනුව පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ඉහළම තේ මිළ වාර්තා වූ බව සඳහන් කළ අමාත්‍යවරයා අපනයන කරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් තාවකාලිව මෙම බදු ඉවත්කිරීම සිදු කළ බව පෙන්වා දුන්නේය.

    තවද ඉදිරියේදී කසළ තේ යන නාමීකරණය පනතක් මගින් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මෙහි සැබෑ අදහස වඩාත් පිරිපහදු කරන තේ යන්න මිස කසළ තේ නොවන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී වෙනස්කම් රැසක් සිදුකරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ තේ සාමාන්‍ය ජනතාවටද අත්විඳීමට ඉඩකඩ සළසා දෙනබව පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:14

    Latest News