මෙරට කොවිඩ්-19වලින් සුවය ලැබූ ප්‍රතිශතය 72.64% දක්වා ඉහළට (වීඩියෝ)

ජූනි 17, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 72.64 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනයේ ද සුවය ලැබූ 26 දෙනෙකු රෝහල්වලින් පිටව ගියේය. සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,397ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 08 දෙනෙකු අද දිනය තුළ හඳුනා ගැණින. ඔවුන්ගෙන් පස් දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ තිබේ. නාවික හමුදා සාමාජිකයෙකු ද හඳුනාගත් කොවිඩ් 19 රෝගීන් අතර වේ.

    කොවිඩ්-19 රෝගය වැළඳණු බවට ඊයේ හඳුනා ගැනුණු රෝගීන්ගේ සංඛ්‍යාව 10ක්. 6 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්. හඳුනා ගැනුණු ඉතිරි රෝගීන් සිව් දෙනාම ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා ඉතා ඉහළ අගයක් ගනී. එම සංඛ්‍යාව 1,397ක්. ප්‍රතිශතය 72.64ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 515 දෙනෙකු පමණි. ප්‍රතිශතය 26.78ක්. මෙරටින් වාර්තා වූයේ මරණ 11ක් පමණි. එම ප්‍රතිශතය 0.57ක් වැනි ඉතා අඩු අගයක් ගනී.

    මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යයි. ඒ නිසා ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙසත්, ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවලට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් හෝ සිදු නොකරන ලෙසත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් සහ තවත් විදේශිකයන් පිරිසක් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ රාත්‍රී සහ අද අලුයම පැමිණියේය. පැමිණි පිරිසට 80 දෙනෙකු අයත්. ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලේ සිට එක් ගුවන් යානයක් පැමිණ තිබේ. එහි පැමිණි පිරිස 53ක්.

    අනෙක් ගුවන් යානය පැමිණියේ ඉන්දියාවේ මුම්බායි සිටයි. එහි පැමිණි පිරිස 27ක්. ඔවුන් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නෞකාවක කාර්ය මණ්ඩලයට අයත් ඉන්දීය ජාතිකයින් පිරිසක් බව වාර්තා වේ. පැමිණි සියලු දෙනාම ගුවන් තොටුපලේ දීම පීසීආර් පරීක්‍ෂණය සඳහා යොමු කෙරිණ.

    පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 218 දෙනෙකු අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. පිරිස සිංගප්පූරුවේ සිට පසුගියදා මෙරටට පැමිණ තිබේ. අධ්‍යාපන කටයුතුවලට සහ රැකියා සඳහා ගොස් සිට පැමිණි පිරිසක් මෙලෙස නිරෝධායනය අවසන් කළ බව වාර්තාවේ.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:43

    Latest News