සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව පාසල් ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි - අධ්‍යාපන අමාත්‍යාංශය

ජූනි 17, 2020

    සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති නිර්දේශවලට අනුගතව පාසල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ආසන ප්‍රමාණයට පමණක් සිසුන් ප්‍රවාහනය කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, වෑන් රථ තුළ විෂබීජානුහරණය, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම වැනි උපදෙස්වලට අනුව ක්‍රියා කිරීමට පාසල් ප්‍රවාහන සංගම් නියෝජිතවරු ඊයේ එකඟතාව පළ කළේය.

    පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ජාවක් ඩලස් අලහප්පෙරුම හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ පැවැත්විණ. පාසල් නිමා කිරීම අවස්ථා තුනකදී සිදු කිරීම හේතුවෙන්, දරුවන් රඳවා තැබීමට සිදුවන කාලය පිලිබඳ ගැටලුව නිසා එම අවස්ථා ගණන දෙකකට සීමා කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණ.

    මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 9ක් ලබාගත් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අළෙවිකරණය පිලිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එය “යළි නැගිටිමු ශ්‍රී ලංකා“ වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය්‍යාංශයේ දී. ඒ අමාතයාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. පාඨමාලාවට සිසුන් 10,201 දෙනෙකුට www.slim.lk වෙබ් අඩවියෙන් ජූලි පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය.

    Latest News