හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප

ජූනි 10, 2020

    ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය.

    ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ඇත.

    ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ ඉකුත් දෙසැම්බර් මස 24 වනදා අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුළින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා ඇති බවයි.

    මීට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කෙරෙන නඩු තීන්දු ගණනාවක් ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නේය.

    මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළේය.

    ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

    අනතුරුව පැමිණිල්ල ලබන 26 වනදා කැදවන ලෙසද මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.

    මෙම පැමිණිල්ල ඉකුත් 27 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සිදු කළ බව කියන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දී තිබුණි.

    තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන හෙයින් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියක් මත ඔහු ඇප මත මුදා හරින ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එදින එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකාර රාජිත සේනාරත්න අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනටමත් අධිකරණය නිශ්චිතව තීන්දුකර ඇති බව සඳහන් කර සිටියා.

    රිමාන්ඩ් භාරයේ පසුවන රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මෙම අවස්ථාවේ උද්ගතව නොමැති හෙයින් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා තිබුණේ.

    Latest News