පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යයි - WHO

ජූනි 06, 2020

    ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී අනිවාර්යයෙන් මුව ආවරණ පළදින ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

    එය, කලින් එම සංවිධානය දැරූ ස්ථාවරය වෙනස් කිරීමක්. අලුත් අධ්‍යනයකදී හෙළි වී ඇත්තේ, මුව ආවරණ මගින් ආසාදිත බිඳිති පරිසරයට නිකුත්වීම හා ශ්වසන පද්ධතියට ඇතුලුවීම බහුල වශයෙන් පාලනය වන බවයි. මින් පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ, සෑම පුද්ගලයෙක්ම ප්‍රසිද්ධ ස්ථානවලදී මුව ආවරණ පැළඳීම රෝග පාලනයට පැහැදිලි හේතුවක් වන බවට සාධක නොමැති බවයි. කලින් උපදෙස් ලබාදී තිබුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝගීන් හා රෝහල් පරිශ්‍රවලට පිවිසෙන්නන් ආදී විශේෂිත කණ්ඩායම් පමණක් මුව ආවරණ පැළඳීම ප්‍රමාණවත් බවයි. එහෙත් නව අධ්‍යනයක ප්‍රතිඵල මත පදනම්ව මුව ආවරණ පැළඳීමට ජනතාව උනන්දු කරන ලෙසට ලොව පුරා ආණ්ඩුවලට දැනුම් දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළේය. එහෙත් මුව ආවරණය වනු ආරක්‍ෂක උපාංගයක් මිස කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය සම්පූර්ණයෙන් වළක්වන්නක් නොවන බව ද එම සංවිධානය අවධාරණය කරයි. එබැවින් සෙසු සෞඛ්‍ය නීති රීති හා රෙගුලාසි ද මේ හා සමගාමීව අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණික විශේෂඥ ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් කර්ක්හෝව් පවසයි. එසේම, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් සාමාන්‍ය රෙදි යොදා ගනිමින් සැකසුණු මුව ආවරණ පැළඳීම ප්‍රමාණවත් බව, නව අධ්‍යනයෙන් තහවුරු වේ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. සෙසු සෞඛ්‍ය අනතුරුදායක තත්වයන් මුහුණ පා සිටින අය, ආසාදිතයන් හා සෞඛ්‍ය සේවකයන් පමණක් වෛද්‍ය අංශ සඳහා නිර්දේශිත මුව ආවරණ පැළඳිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ දැක්වේ.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 18:07

    Latest News