කොරෝනා නිසා ඇරඹි වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් තරුණයෙක් (වීඩියෝ)

ජූනි 06, 2020
  • කොරෝනා වසංගතය හමුවේ ලද විරාමයෙන් ගෙවතු වගාව කෙරෙහි යොමුවුණු තරුණයෙකු අද වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.

    මෙරට සෑම බිම් අඟලක්ම වගා කටයුතු සඳහා භාවිත කළ යුතු බව ඔහු පවසයි. මුල්ලේරියාව, සල්මල් උයන ප්‍රදේශයේ පදිංචි රොෂාන් චතුරංග මේ වගාවේ හිමිකරු. විදුලි උපකරණ, යන්ත්‍රෝපකරණ ආදියා අලුත්වැඩියා කිරීම ඔහුගේ වෘත්තියයි. කොරෝනා වසංගත සමයේ ලද විරාමයෙන් එම කාලය ඵලදායී ලෙස ගෙවා දැමීම සඳහා ඔහු කැළෑ පෙදෙසක් එළිපෙහෙළි කොට පර්චස් 11ක භූමි ප්‍රමාණයක ගොවිපොළක් නිර්මාණය කර ඇත. ඒ සඳහා ඔහුට පියාගේ සහය හිමිවූ අතර, පසුව අවට ප්‍රදේශවාසීන් හා තරුණයින්ගේ සහයද හිමිව තිබේ. අප්‍රේල් 20 වැනිදා ආරම්භ කළ ගොවිපොළෙහි අද ගස්වැල් ඵලදරා ඇත.

    මෙහි පහතරට එළවළු පමණක් නොව උඩරට එළවලුත් වගාකර තිබේ. වගාව ආරම්භයේදී ජලය ලබාගැනීම ද ප්‍රධාන ගැටලුවක් විය. අඩි 22ක පමණ ගැඹුරට ළිඳක් කපා, ඉන් තම වගාවට ජලය සපයා ගත්තේය. නමුත් එය ප්‍රමාණවත් නොවුණු නිසා ඔහු ඊට වඩා පහසු ක්‍රමයක් කල්පනා කළේය. උතුරුකරයේ වැසියන් ජලය ලබාගැනීම සඳහා භාවිත කරන ආඬි ළිඳක් ඔහුගේ ගැටලුවට පිළිතුර විය. ඔහු තම වගාවට රසායනික පොහොර භාවිත කරන්නේ නැත. ඔහුගේ වගාව සම්පූර්ණයෙන් කාබනික වගාවක්. ඉත්තෑවන් වැනි සතුන්ගෙන් වගාව ආරක්‍ෂා කරගැනීම සඳහාත්, සතුන් පළවා හැරීම සඳහාත්, රාත්‍රී කාලයේදී දැල්වෙන කැරකෙන කුප්පි ලාම්පුවක් ද ඔහු නිරිමාණය කර තිබේ.

    දෙමටගොඩ වේළුවන විද්‍යාලයෙන් අ.පො.ස උසස් පෙළ හැදෑරූ රොෂාන් ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයෙකු ද වේ. මෙරට වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගාකළ යුතු බව ඔහු පවසයි. වගාවට යොමුවීම කායිකව, මානසිකව සහ තමන්ටත්, රටටත් ප්‍රයෝජනවත් බව ඔහු කියා සිටී.
    ඔහු ක්‍රියාවෙන්ම මෙරට තරුණ පරපුරට ආදර්ශයක් ලබාදුන් තවත් තරුණයෙක්.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 19:38

    Latest News