ඩෙංගු මඩින්න ජනපති හා අගමැතිගෙන් උපදෙස්

ජූනි 02, 2020

    පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (01) උපදෙස් ලබාදුන්හ.

    සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙන හෙයින් මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ඒ සඳහා පළාතේ සියලු පළාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක වන්නැයි ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

    පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති අතර නොවැම්බර් සිට ක්‍රමවත්ව කසළ බැහැර කිරීම සහ කොවිඩ් මර්දනයට සමගාමීව පැවති ඇඳිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත්‍රව තබා ගැනීමත්, පළාත් අතර සංචරනය සීමා වීමත් යන සාධකයක ඊට බලපෑ ඇති බව සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේය.

    පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය යොමු කළ ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරා ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

    ඩෙංගු රෝගියෙකු රජයේ හෝ පෞද්ගලික රෝහලකට වාර්තාවූ වහාම ඒ පිළිබඳව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් වී ඉන් අනතුරුව අදාළ ස්ථාන නොපමාව දූමායනය කොට පවිත්‍ර කළයුතු බවත් ඩෙංගු මර්දනය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

    ආණ්ඩුකාරවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සාකච්ඡාවට එක්ව සිටියහ

    Latest News