ISIS මතවාදයට ගැති වූ තවත් 92කගේ නම් 2017 දී හඳුනාගෙන (වීඩියෝ)

මැයි 30, 2020
  • දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් ජමිල් මොහොමඩ් නමැත්තා ඇතුළු අයි එස් අයි එස් සංවිධානයේ මතවාදයට ගැති වූ තවත් 92 ගේ නම් ලැයිස්තුවක් 2017 වසර වනවිට හඳුනාගෙන තිබූ බව, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙළිවිය.

    ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සාක්‍ෂි ලබාදෙමින් මේ බව අනාවරණය කළේය.

    එම නිලධාරියා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ. ට්‍රොපිකල් ඉන් ලැඟුම් හලේ පුපුරුවා ගැනීම සිදු කළ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් පිළිබඳව 2016 වසරේ සිට තොරතුරු විමර්ශනය කළ බවයි. ජමිල් මොහොමඩ් නමැති බෝම්බකරු අයි එස් සංවිධානයේ මතවාදය බොහෝ දුරට විශ්වාස කරන පුද්ගලයෙකු වන අතර, ඒ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන අයෙකු බව ද හෙළි වී තිබිණ. අන්තවාදී මත දරන ඔහු ඇතුළු තවත් පුද්ගලයන් පිළිබඳ සොයා බලන ලෙස තමාට ලැබුණු නියෝගයේ දක්වා තිබූ බව එම උසස් නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියේය. 2017 නොවැම්බර් 08 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මීට අදාළ බුද්ධි තොරතුරු යොමුකර ඇති බව සාක්‍ෂිකරු එහිදී පිළිගත්තේය.

    ඒ අනුව, 2018 පෙබරවාරි 20 වැනිදා සිට පාස්කු ප්‍රහාරය සිදුවූ දින දක්වා ජමිල් මොහොමඩ් සම්බන්ධයෙන් වාර්තා 08ක් පොලිස්පතිවරයාට ලබාදී ඇති බව සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 2018 අප්‍රේල් 08 වැනිදා එහි අවසන් වාර්තාව යොමුකර තිබූ අතර, ජමිල් මොහොමඩ් අන්තවාදී හෝ ආගම්වාදී ක්‍රියාවකට සම්බන්ධ වූ බවට තොරතුරු කිසිවක් තමන්ට වාර්තා නොවූ බව, සාක්‍ෂිකරු සඳහන් කළේය.

    කොමිසම එහිදී සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ, 2016 දෙසැම්බර් සිට ජමීල් මොහොමඩ් අන්තවාදී පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය ඔහු පිළිබඳ ආවේක්‍ෂණ රාජකාරි සිදුකර ඇති බව දැනුවත් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඒ ගැන තමන් නොදන්නා බවත්, යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අතර මෙවැනි බුද්ධි තොරතුරු හුවමාරුවක් සිදු නොවන බවත් සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය. දෙහිවල ලැගුම්හලේ පිපිරීමෙන් පසු එම ස්ථානයට යොමු කළ නිලධාරි කණ්ඩායම අදාළ විමර්ශනයට ලක්වූ ජමීල් මොහොමඩ් නමැත්තා එම ප්‍රහාරය සිදු කළේ යැයි පසුව හඳුනාගත් බව ද ඔහු කියා සිටියේය. ප්‍රහාරයෙන් පසු තමා ඇතුළු කණ්ඩායම් කිහිපයක් වැල්ලම්පිටියේ පිහිටි ජමිල් මොහොමඩ්ගේ බිරිඳගේ නිවස පරීක්‍ෂා කොට වට්ස් ඇප් මගින් ලැබුණු හඬ පටයක් හා අන්තවාදී මතවාද ඇතුළත් ග්‍රන්ථයක් ඇතුලු නඩු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව සාක්‍ෂිකරු සඳහන් කළේය.

    කොමිසම එහිදී නියෝග කළේ, එම හඬපට රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කොට සහරාන්ගේ දියණියගේ සහ ජමිල් මොහොමඩ්ගේ දරුවන්ගේ කටහඬ සමඟ සංසන්දනය කොට වාර්තාවක් ලබාදෙන ලෙසයි. කල්මුණේ, සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිරීමෙන් පසු වීඩියෝ දර්ශන රැසක් හමුවූ අතර, ඒවායේ පාස්කු ප්‍රහාර මාලාව එල්ල කිරීමට හේතු සහිත තොරතුරු ඇතුලත් වූ බව ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාර මාලාවට පෙර සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පිරිස ගල්කිස්ස ස්පෑන් ටවර් මහල් නිවාස සංකීර්ණයේ සිදු කළ පටිගත කිරීමක් ද එහි තිබූ බව, සාක්‍ෂිකරු කියා සිටියේය. අන්තවාදී ආගමික මත සහිත කරුණු ගණනාවක් එහි අන්තර්ගත බව ඔහු සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 30 මැයි 2020 20:17

    Latest News