අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

මැයි 30, 2020

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය, කොටගල පිහිටි කොංග්‍රස් කාර්මික ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.

    දේහය කොටගලට රැගෙන ආවේ කොත්මලේ රම්බොඩ වැවන්ටන්වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ සිට. තොන්ඩමන් මහතා මියගියේ හෘදයාබාධයක් හේතුවෙන්. තිදරු පියෙකු වන ඔහු මියයන විට 55 වැනි වියෙහි පසුවිය. අමාත්‍යවරයාගේ 56 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනටයි. දේහය නිවසින් රැගෙන යාමට ප්‍රථම බෞද්ධ හා හින්දු ආගමික වතාවත් ද සිදු කෙරිණ. වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය අද කොටගල පිහිටි කොංග්‍රස් කාර්මික ආයතනය වෙත රැගෙන ගියේ, නුවරඑළිය, නානුඔය, තලවාකැලේ, ප්‍රදේශ ඔස්සේ. පෙරහැර මාර්ගයේ කිසිම ස්ථානයක නොනැවැත්වූ අතර, මඟ දෙපස ජනතාව නිසි පරතරය පවත්වා ගනිමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වූහ. අමාත්‍යවරයාගේ දේහය කොටගල කොංග්‍රස් කාර්මික ආයතන පරිශ්‍රයේ තැන්පත් කිරීමෙන් අනතුරුව එම කාර්යාලය අවට සහ කොටගල නගරයට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව දැඩි ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පවුලේ සාමාජිකයන්ට හා අවමංගල්‍ය කමිටුවට උපදෙස් දී ඇත්තේ, අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස් හා නිර්නායකයන්ට අනුව සිදු කළ යුතු බවයි. දේහය හෙට දක්වා කොටගල කොංග්‍රස් කාර්මික ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ. එදින සවස හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගනයේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. අවසරලත් පුද්ගලයන්ට පමණක් සෞඛ්‍යාරක්‍ෂිත නිර්නායකවලට අනුව දේහයට අවසන් ගෞරව දැක්වීමට අවසර ලබාදීම සිදු කෙරෙනු ඇත. අවසන් කටයුතු ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් තම නායකයාට අවසන් ගෞරව දැක්වීමට සඳහා පැමිණිමට නොහැකි ජනතාව වතු නිවාස ආශ්‍රිත පරිශ්‍ර යේ සිට පිං අනුමෝදන් කරන බව අප වාර්තාකරු පවසයි.

    Latest News