කොවිඩ් 19 පාලනයට ශ්‍රී ලංකාව සමත්ව වූයේ නිසි පියවර ගැනීම නිසා - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (වීඩියෝ)

මැයි 29, 2020
  • කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරිම නිමිත්තෙන් දුරකතනය ඔස්සේ සුබ පතමින් මේ බව කියා සිටියේය.

    දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර, පැය බාගයක පමණ කාලයක් දුරකතන සංවාදය පැවති අතර, කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් එක් කළේය. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ද පළ කර සිටියේය. සාර්ක් සාමාජික රටවල සහභාගිත්වය ඇතිව කොවිඩ් 19 අරමුදල පිහිටුවීමට පුරෝගාමීවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ප්‍රශංසාව පළ කළේය. එමෙන්ම, දෙරටේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම සබඳතාව අඛණ්ඩව පවත්වාගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ. කොවිඩ් 19 වසංගතය අතරතුරදී ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී ඉන්දීය රජයෙන් ලැබුණු සහය අගය කරන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කියා සිටියේය.

    වතුකරයේ නිවාස වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, ඒ සඳහා ඉන්දීය රජය අවශ්‍ය ආධාර ලබාදීමට සූදානම් බව නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී ඇතුළු ලෝක නායකයින් රැසක් අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් පළ කළේය.

    මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද උදේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව රුවන්වැලි මහසෑය වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා, රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිකාරී, පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවේය. අනතුරුව අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව අගමැතිවරයා මිරිසවැටිය රජමහා විහාරය වෙත පැමිණ, විහාරාධිපති පුජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනායක ස්වාමීන් වහන්සේගේ 76 වැනි ජන්ම දිනිය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සුභාෂිශන එක් කළේය. 1944 වසරේ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බොටුවාව ග්‍රාමයේ ජන්මය ලැබූ මහනායක ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරත්ථිතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කර සිටියේය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ අති උතුම් ශ්‍රී දළදා වහන්සේගේ බාරකාරත්වය හා තේවා කටයුතු බාරව සිටිම අති ගෞරවනීය මහනාහිමියන්ගේ සසර කළ පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ලක්වැසි භික්‍ෂූන් වහන්සේට හා සම්බුද්ධ ශාසනයට නායකත්වය දෙමින් ඉටු කරනු ලබන සුවිශේෂි මෙහෙය අගය කළ අතර, විවිධ අවස්ථාවන්හිදී අප වෙත ලබාදෙන අවවාද අනුශාසනා රජයට හා රටට මහත් ශක්තියක් බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංශන පණිවුඩයේ සඳහන් වේ.

    Latest News