ජුනි 20 මහ මැතිවරණය; පෙත්සම් විභාගය ලබන සඳුදා

මැයි 29, 2020

    ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබිණ.

    පෙත්සම් විභාගයට ගැනෙන්නේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ.

    අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ සඳහන් මැතිවරණ දිනය වෙනස් කිරීම හෝ එය කල් දැමීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට බලය හිමිව තිබෙන බවයි.

    තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අනුර ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්‍ෂයේ නායකයින් පිරිසක් ඉකුත් අප්‍රේල් මස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කර තිබූ ඉල්ලීම පදනම් විරහිත බවයි. විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමේ යටි අරමුණ තුළින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇතැයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය. මැතිවරණය නොපමාව පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කළ යුතු යැයි ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කලේය. නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එහි නිල කාලය අවසන් වන බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හදිසි තත්වයක් උද්ගතවන අවස්ථාවක හැර සෙසු අවස්ථාවන්හිදී විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් යළි රැස් කිරීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳී නොමැති බව ඔහු සඳහන් කළේය. තවත් අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු සඳහන් කළේ. ඉකුත් මාර්තු මස 2 වැනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ජුනි 2 වැනිදා තෙක් බලාත්මක මට්ටමින් පවතින බවයි. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, ඔහුගේ සේවාදායකයා ගොනුකර ඇති අතරමැදි පෙත්සමෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කළහොත්, තමන්ට අගතියක් සිදුවිය හැකි බවට කරුණු දක්වා ඇති බව පෙන්වා දුන්නේය.

    එසේ තිබියදී ඔහු වාචිකව ඉදිරිපත් කරන කරුණු හා ලිඛිතව අධිකරණය හමුවේ ගොනුකර ඇති අතරමැදි පෙත්සමේ අන්තර්ගත ස්ථාවරය අතර, පරස්පරතාවක් පවතින බව අගවිනිසුරුවරයා සඳහන් කළේය. එබැවින් නීතිඥවරයා පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයට පක්‍ෂව කරුණු දක්වනවාද, විරුද්ධව කරුණු දක්වනවාදැයි පැහැදිලි කරන ලෙස අගවිනිසුරුවරයා ඔහුගෙන් විමසා සිටියේය. උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා අධිකරණය විනාඩි 10ක කාලයක් අත්හිටවූ අතර, අනතුරුව එම පෙත්සම තුළින් ඉදිරිපත් වන කරුණුවලින් අධිකරණය හමුවේ පවතින නීති කෘතියට සහය වීමක් සිදු නොවන හෙයින් පෙත්සම සම්බන්ධයෙන් කරුණු විමසීම අත්හිටුවීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. අනතුරුව පෙත්සම සම්බන්ධව වැඩිදුර සළකා බැලීම ලබන සඳුදා පෙරවරු 10.00 තෙක් කල් තැබුණු අතර, එදින පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිලිතුරු දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News