1,2 ශ්‍රේණි සඳහා ක්‍රියාකාරී අධ්‍යාපනයට මුද්‍රිත ඉගෙනුම් කට්ටල

මැයි 27, 2020

    1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය පැකේජයක් හඳුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් හය ලක්ෂ හැට පන්දහසකට (665,000) ආසන්න ප්‍රාථමික අධ්‍යයන අදියරෙහි 1, 2 ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කරගනිමින් මෙම මුද්‍රිත ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ඇති අතර, මේ වන විටත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙත මෙම ඉගෙනුම් ද්‍රව්‍ය යොමු කර ඇත.

    1 සහ 2 ශ්‍රේණිවල සිසුන්ට මව්බස, ගණිතය සහ පරිසරය ආශ්‍රිත විෂය ක්‍රියාකාරකම් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හැදෑරීමට මෙම පැකේජ උපකාරී වන අතර, දෙමව්පියන් විසින් නිවෙස්ගතව සිටින තම දරුවන් මේ සදහා යොමුකිරීම මෙන්ම, ඉගෙනුම් ද්‍රව්‍ය භාවිත කිරීමේදී ඔවුනට සහාය වීම අත්‍යාවශය හා වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑමට මුහුණ දීමට සහ එම අභියෝගය හමුවේ සුබවාදී ව කටයුතු කිරීමට මෙරට දරුවන්ට ඉඩප්‍රස්ථා සැලසීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් මෑතකදී නිවේදනය කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක මූල්‍ය ආධාරයෙහි එක් පියවරක් ලෙස මෙම ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලාංකේය සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිරසාර තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔවුන් අතර බෙදා දීමට නියමිත මෙම මුද්‍රිත ඉගැන්වීම් කට්ටල නිල වශයෙන් භාර ගැනීමේ හමුව ඊයේ (26) වන දින අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණ.

    රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ නිවෙස්ගත ව සිටින පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත්, ඉ - තක්සලාව, රටක් වටින පොතක් වැඩසටහන, ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ආරම්භ කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති බවත්, යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය, ඔස්ට්‍රේලියානු රජය ඇතුළු ආයතන විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙත ලබා දෙන්නාවූ මෙම සහයෝගය කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    Last modified on බදාදා, 27 මැයි 2020 13:27

    Latest News