සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

ජූනි 09, 2020

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා” යන්න තේමා කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙමින් පවතී.

    ගනු ලබන තීරණ රටටත්, අනාගත පරපුරටත් බලපාන නිසා සැමට එකඟවිය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ.

    පෙර පාසලේ සිට ප්‍රාථමික, ද්විතීයීක, උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද අවසන් වාර්තා අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් හෝ පුළුල් සමාජ සංවාදයට යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සියලු යෝජනා ජනතාව අතට පත් කොට ඊට ලැබෙන අදහස් සහ යොජනා ද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් විය යුතුය.

    කොවිඩ් මර්දනය සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමුණද Online අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්ය සාධක බලකාය පෙන්වා දුන්නේය.

    ආරම්භයේදී යම් දුෂ්කරතා මතුවුවද මේ වන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබේ.

    Latest News