අතීත දුෂ්කර අභියෝග ජයගත් ආකාරයටම කොවිඩ් 19 අභියෝගය ද නියත වශයෙන් ජයග්‍රහණය කරනවා - ජනපති (වීඩියෝ)

මැයි 01, 2020
  • රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    අතීත දුෂ්කර අවස්ථාවලදී වැඩකරන ජනතාව සමඟ අභියෝග ජයගත් ආකාරයට අප කොවිඩ් 19 අභියෝගය ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව, සහතික යැයි එතුමා සිය මැයි දින පණිවුඩයේ සඳහන් කරයි.

    ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවකදීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩකරන ජනතාවයි. ජාත්‍යන්තර කම්කරු දිනය වැඩකරන ජනතාවගේ එකමුතුකම, ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. ලෝක වසංගත තත්වය හේතුවෙන් එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර එය අහිමිවි වී තිබේ. එසේ වුව ද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව, තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. අපේ රජය කුමන අසීරු තත්වයක් හමුවේ වුව ද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජිවිතය අඩාල කර නැහැ. අඩාලවීමට ඉඩ හරින්නේ ද නැහැ. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කොට වැඩකරන ජනතාවගේ ජීව අවස්ථා සුරක්‍ෂිත කරනවා.

    පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්චත්වයට තිත තැබුව ද අනපේක්‍ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි පැවැත්වෙන්නේ නැහැ. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සිකුරාදා, 01 මැයි 2020 20:39

    Latest News