කොවිඩ් 19 නිසා නිර්මාණය වන නව නිපැයුම් (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • කොවිඩ් 19 රෝගය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීම තවදුරටත් සිදු කෙරේ.

    ආයතන හා පෞද්ගලික මට්ටමිනුයි එය නිෂ්පාදනය කෙරෙන්නේ.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු නිෂ්පාදනය කළ වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අද බාරදුන්නේය. මෙම රොබෝ යන්ත්‍රයට, රෝග 200ක් හඳුනාගැනීමට හැකියි. සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද තේරුම් ගැනීමේ හැකියාව මීට තිබේ. යන්ත්‍රය වැඩි දියුණු කර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයට යෙදවීම සඳහා අදාල අංශවලට යොමු කෙරෙනු ඇත.

    කළුතර, ශාන්ත ජෝන් විද්‍යාලයේ ගුරුවරයෙකු වූ රන්ජන් කන්නන්ගර මහතා විෂබීජානුහරණ යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ. වැය වූ මුදල රුපියල් හාර දහසක්. මෙමඟින් අත් සේදීම හා වේලා ගැනීම සිදු කළ හැකියි. යන්ත්‍රය දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පරිත්‍යාග කෙරිණ.

    තත්පර ගණනකදී ඕනෑම වපසරියකින් යුතු කාමරයක් හෝ ශාලාවක් විෂබීජානුහරණය කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට පොළොන්නරුව, රාජකීය විද්‍යාලයේ 17 හැවිරිදි හිමාෂ අනූජ සත්සර සිසුවා සමත් වී තිබේ. මෙය නිෂ්පාදනය කළේ, සති තුනක් වැනි කෙටි කාලයකින්.

    මෙම උපකරණය විදුලියෙන් ක්‍රියා කරන අතර, පාරජම්බූල කිරණ නිෂ්පාදනය කොට එය මුදා හැරීමෙන් ඕනෑම විෂබීජයක් ක්‍ෂණිකව විනාශ කළ හැකිය. එය නිෂ්පාදනයට වැය කළ මුදල රුපියල් විසි දහසක්.

    රෝගීන්ගේ රුධිර පීඩනය ඇතුළු අත්‍යවශ්‍ය දත්ත පෙන්නුම් කරන යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් එක් ස්ථානයක සිට නිරීක්‍ෂණය කළ හැකි මෘදුකාංගයක්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ පරිගණක දෙපාර්තමේන්තුවේ සිසුන් දෙදෙනෙක් නිර්මාණය කර තිබේ.

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙකු විසින් නිෂ්පාදනය කරන ලද දෑත් පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත අද බාරදෙනු ලැබීය. මෙය නිර්මාණය කර තිබෙන්නේ ගිහාන් හෙට්ටිආරච්චි සිදුවා විසින්.

    සෙම පටල සාම්පල ලබාගැනීම සඳහා වූ කුටියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණයන් පිරිසක් නිර්මාණය කර තිබේ. වැය වූ මුදල රුපියල් ලක්‍ෂ එකහමාරක්. සාම්පල කුටිය අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත අද පරිත්‍යාග කරනු ලැබුවේ එම තරුණයන් පිරිස විසින්.

    Last modified on බදාදා, 29 අප්‍රේල් 2020 20:18

    Latest News