ඉසෙඩ්-ඩී ඇළට ඇඳ වැටෙන අලින්ට සහනයක් (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • පසුගිය සති තුනක කාලය තුළ වන අලි සිව් දෙනෙකු ජලය සොයා පැමිණ ඉසෙඩ්-ඩී ඇළට ඇඳ වැටී තිබේ.

    තවත් වන අලියෙකු අද අලුයම් කාලයේ දී ඉසෙඩ්-ඩී ඇළට වැටිණ. ජල පිපාසයෙන් පැමිණෙන වන අලින් මෙසේ අනතුරට ලක්වන බව, වන ජීවි නිලධාරීන් පවසයි.

    මාදුරුඔය ජලාශයේ සිට වැලිකන්ද “ටාසන් වැව“ දක්වා කිලෝමීටර 52ක් දුරට ඉසෙඩ්-ඩී ඇළ විහිද පවතී. ඉන් කුඹුරු අක්කර 25,000කට පමණ මහවැලි බී කලාපයේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සඳහා දියවර සැපයේ.

    මෙම ඇළට ජලය බීම සඳහා වන අලි නිරතුරුව පැමිණේ. ඇලෙහි පැති කොන්ක්‍රීට් බැම්මෙන් අලීන් බොහෝ විට ජලයට ලිස්සා වැටේ. සාමාන්‍යයෙන් වසරකට වන අලි 30 දෙනෙකු පමණ අනතුරට ලක්වේ. මාදුරුඔය සිට පිඹුරත්තෑව, පහේ කණුව දක්වා විහිදෙන ප්‍රදේශයට ඇතුළු වන අලීන්ට ගොඩවීම සඳහා ස්ථානයක් නොමැත. එබැවින්, ඇළට වැටෙන අලි කිලෝ මීටර් 10ක්, 15ක් පමණ ජලයේ ගසාගෙන යයි.

    අද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා, වනජීවි නිලධාරීන් උදෑසන එම ස්ථානයට පැමිණිමටත් පෙර ස්ව උත්සාහයෙන් ගොඩට පැමිණ, අලුත්වැව රක්‍ෂිතයට පළා ගොස් තිබේ.

    මහවැලි නිලධාරීන්ගේ ද සහය ඇතිව ස්ථාන තුනකින් පමණ පඩි පෙළවල සකස් කරන්නේ නම්, රාත්‍රී කාලයේ දී ඇළට ඇඳ වැටෙන වන අලින්ට කෙසේ හෝ ගොඩට පැමිණිය හැකි බව, වෙහෙරගල වනජීවි අඩවි ආරක්‍ෂක යු.ඩී.ජේ.එම්. ආරියසිංහ මහතා පවසයි. ඔහු මහවැලි ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, පඩි පෙළ සකස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    Last modified on බදාදා, 29 අප්‍රේල් 2020 20:12

    Latest News