මිළ සූත්‍රයෙන් ජනතාවට දුන් සහනය

දෙසැ 21, 2018

    ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ පහළ යාම අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් යුතුව රජය හඳුන්වා දුන් මිල සූත්‍රය තුළින් ඔක්තෝබර් 10 වනදා සිට පෙට්‍රල් ලීටරයක මිල රු. 30 කින්ද, ඩීසල් ලීටරයක මිල රු. 22 කින්ද අඩුවී තිබේ.

    මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට සැලසීම සඳහා මගී ප්‍රවාහන, ත්‍රීරෝද රථ ප්‍රවාහන, පාසල් ළමුන් ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි ගාස්තු අඩු කළයුතු යැයි රජය අපේක්ෂාව වී තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

    ලෝක වෙළෙඳපොලේ තෙල් මිල උච්ඡාවචනය අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් යුතුව රජය විසින් හඳුන්වා දෙන ලද මිල සූත්‍රය හේතුවෙන් ඔක්තෝබර් මස 10 වනදා සිට මේ වනවිට පෙට්‍රල් ලීටරයක මිල රු. 30 කින්ද, ඩීසල් ලීටරයක මිල රු. 22 කින්ද අඩුවී ඇත. එහෙයින්, මෙම මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට සැලසීම සඳහා මගී ප්‍රවාහන, ත්‍රීරෝද රථ ප්‍රවාහන, පාසල් ළමුන් ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි ගාස්තු අඩු කළයුතු යැයි රජය අපේක්ෂා කරයි.

    ඒ අනුව, ඉන්ධන මිල අඩුකිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතනයන් විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එමෙන්ම, ධීවර සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලටද ඩීසල් මිල අඩුවීම හේතුවෙන් ඒවායේ නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදිය යුතුය. භාණ්ඩ හා සේවාවල මිල අඩුවීමේ සාධනීය ප්‍රවණතාවයක් මේ හරහා ඇතිවීමෙන් ජීවන වියදම් අඩුවීමටද මෙය රුකුලක් වනු ඇත.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 මුල් මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රකාශ කළ පරිදි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකර ඇත. මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත. ඔටෝ ඩීසල් ලීටරයක් රු. 106 සිට රු. 101 දක්වා රු. 5 කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රු. 131 සිට රු. 121 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත.

    ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉන්පසුව, එම මිල සූත්‍රය අනුව මාස් පතා සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සමාලෝචනයක් මහා භාණ්ඩාගාරය විසින් කරන ලද අතර ඒ සඳහා ප්‍රධාන සාධක වශයෙන් ගනු ලැබුවේ සිංගප්පූරු වෙළෙඳපොලේ පැවැති බොරතෙල් බැරලයක මිල ගණන්ය. පසුගිය කාලවකවානුවේ ජාත්‍යන්තරව බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවූ හෙයින් ඒ අනුව ඔක්තෝබර් මස 10 වනදා තෙක් ශ්‍රී ලංකාවේ තෙල් මිලද අඛණ්ඩව වැඩිවිය. තෙල් මිල අවසන් වරට වැඩිවූ ඔක්තෝබර් මස 10 දින වන විට ජාත්‍යන්තරව බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඇ.ඩො. 85 ක් ලෙසය.

    නොවැම්බර් මස සිට ජාත්‍යන්තර වෙළෙඳපොලේ තෙල් මිල අඛණ්ඩව අඩුවූ අතර, මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 58 ක සාමාන්‍ය මිලක් වාර්තා වෙයි. ඒ අනුව, 2018 ඔක්තෝබර් මස 10 වන දින රු. 155 ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද වන විට රු. 125 දක්වා රු. 30 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 169 සිට රු. 149 දක්වා රු. 20 කින්ද අඩුකර ඇත. එමෙන්ම, ඔක්තෝබර් මස 10 දින වන විට රු. 123 ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල අදවන විට රු. 101 දක්වා රු. 22 කින් අඩුවී ඇත. සුපර් ඩීසල් ලීටරයක මිල රු. 141 සිට රු. 121 දක්වා රු. 20 කින් අඩුවී ඇත.

     

    Latest News