අද රාත්‍රී 8.00 සිට යළි මුළු දිවයිනටම ඇඳිරිනීතිය

අප්‍රේ 24, 2020

    අධි අවදානම් කලාප හැර, අනෙකුත් ප්‍රදේශවල ඉවත් කර තිබූ ඇඳිරි නීතිය අද රාත්‍රී 8.00 සිට යළි පනවනු ලබයි.

    ඒ අනුව, මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි මේ වනවිට ඇඳිරිනීතිය පනවනු ඇත.

    එමෙන්ම දැනට දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳ ලබන සඳුදා යළි සලකා බැලිමට නියමිත බව, පොලිස් මූලස්ථානය පවසයි.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයි.

    එම දිස්ත්‍රික්ක හැරුණු විට අනෙකුත් ප්‍රදේශවලට රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පනවා යළි අලුයම 5.00ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කරනු ලැබීය. අදින් අවසන් කෙරුණේ, එම ක්‍රමවේදයයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, ජනතා යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇති වූ දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අද උදේ 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ 666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාහන 183ක් පොලිස් බාරයට ගැණින. අධි අවදානම් කලාප සහ අනෙක් සියලු ප්‍රදේශවල ඇඳිරි නීතිය කාලසීමාවේ එය උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේදී අනවසරයෙන් විවෘත කෙරුණු ඖෂධහල් හා ආහාර අලෙවි කරන ජංගම රථ හෝමාගම, මීගොඩ, ගොඩගම නගර කේන්ද්‍ර කර ගනිමින් අද පරීක්‍ෂාවට ලක් කෙරිණ. ඒ, හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින්. සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළි නොපදින වෙළෙඳුන්ට මෙහිදී තරයේ අවවාද කෙරිණ.

    හොරණ නගරයේ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ, ඔවුන් පොලිස් මුරපොළවල මඟ හරිමින් අතුරු මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටියදී.

    කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සංචාරක කලාපවල අතරමංව සිටින විදේශීය සංචාරකයින්ගේ ද සුවදුක් විමසා බැලීම මේ දිනවල සිදු කෙරේ. ඒ ජාතික සංචාරක වෘත්තිකයින්ගේ සංගමය සහ සංචාරක පොලිස් කොට්ඨාසය මගින්.

    රජය මගින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කරමින් අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ නිවසක පෞද්ගලික පන්ති පැවැත්වූ ගුරුවරයෙකු සහ එම ගෙහිමියා අත්අඩංගුවට ගෙන තිබේ. අදාල පෞද්ගලික පන්තිය සඳහා සහභාගිවූ දරු දැරියන්ගේ දෙමව්පියන්ට ද මෙහිදී අවවාද කෙරිණ.

    මේ අතර සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් නුවර සිට අනුරාධපුරයට මගීන් ප්‍රවාහනය කළ බස් රථයක් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගැණින.

    සෞඛ්‍ය අංශ විසින් පෞද්ගලික බස් රථ සහ ත්‍රීරෝද රථ රියදුරන්ට ලබා දී ඇති නිර්නායක උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කළ රියදුරන්ට හැටන් පොලිසිය විසින් අද අවවාද කරනු ලැබීය. අද රාත්‍රී 8.00ට එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විශාල පිරිසක් නගරය වෙත ඇඳී එනු දක්නට ලැබිණ.

    Latest News