කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික්ක මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

අප්‍රේ 20, 2020

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

    මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙනයා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.දිස්ත්‍රික්ක ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික්ක ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට සිය ප්‍රසාදය පළ කළේය.කොරෝනා වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති පියවර සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දිසාපතිවරුන් දැනුවත් කළේය.

    දෛනිකව වෛරසය ආසාදිත බවට හඳුනා ගැනෙන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් හෝ වීම මර්දනයට ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵලයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටී.ආර්ථික වශයෙන් ශක්තිමත්වීම රජයේ අරමුණයි. ඒ සඳහා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

    එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ දේශීයත්වයට ආවේණික කර්මාන්ත මෙන්ම සෙසු නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා ව්‍යවසායකයින් දිරිමත් කළ යුතු අතර ඔවුන්ට පුර්ණ සහාය රජයක් ලෙස ලබාදිය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ධීවර සංස්ථාව මෙන් කෘෂි අස්වනු මිලදී ගැනීමට එළවළු සංස්ථාවක් වැනි ආයතනයක අවශ්‍යතාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. පසු අස්වනු තාක්ෂණ ආයතනය සිදු කරන පර්යේෂණවල නිර්දේශ ජනතාව සහ ගොවීන් අතර ප්‍රචලිත කොට ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු බවට එකඟත්වය පළ විය.

    පවතින වාතාවරණයත් සමග බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂි භෝග ඝෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ යෙදී සිටිති. එහි වාසි දායක බව පෙන්වා දුන් දිසාපතිවරු මෙමගින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසී ඇති බව කීහ. එය ශක්තිමත් කරමින් ඉදිරියට කරගෙන යාමට නීතිමය ක්රහමවේදයක් සැකසීමේ වැදගත්කම ද ඔව්හු අවධාරණය කළහ.

    දිස්ත්‍රික්ක මට්ටමින් ශිතාගාර සහ ගබඩා ස්ථාපනය සහ දේශීය බීජ නිෂ්පාදනය සිදු විය යුතු බව දිසාපතිවරු සඳහන් කළහ.

    මුඩුබිම් වගා කිරීම, වගා නොකළ බිම් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් අස්වැද්දීම, යටි භෝග වගාව කෙරෙහි මෙන්ම කුඹුරු නියර ආශ්‍රිත වගාවන්ට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණ. රබර් නිෂ්පාදන, කොසු, ඉදල් පේෂකර්ම ඇතුළු දේශීය කර්මාන්ත නගා සිටුවීම, දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීම ඇතුළු කෘෂි සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර, මුදල් ලේකම් එස්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිසිපති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 16:56

    Latest News