සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් ලක්ෂ 200ක පරිත්‍යාගයක්

මාර් 28, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

    COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.

    ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළේය.

    මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ.

    ජනාධිපතිතුමා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ද බැහැ දුටුවේය.

    අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නය ද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කළේය.

    කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 50ක පරිත්යාබගයට සහ මල්වතු, අස්ගිරි විහාරස්ථානවලින් ලැබුණු ආශිර්වාදය වෙනුවෙන් ජනාධිපතිතුමා ස්තූතිය පුද කළේය.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 16:53

    Latest News