මෙවර නුවර පෙරහැර ලබන 21 සිට 31 දක්වා

අගෝ 11, 2023

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

    පෙරහැර මංගල්‍යය, ලබන 21 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දියවඩන නිලමේවරයා මේ අදහස් පළ කළා. පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව මෙන්ම, සෞඛ්‍ය, ප්‍රවාහන කටයුතු හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට මනා සැලැස්මක් සකස් කර ඇති බවද, දියවඩන නිලමේවරයා මෙහිදී කියා සිටියා.

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහැර මාර්ගය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව කොප්පරා පූජා කරනු ලබනවා. ඒ, වසර 10 ක කාලයක සිටයි. මෙවර පෙරහර සඳහා ඊයේ කොප්පරා ටොන් 15 ක් පූජා කෙරුණා. බෝයගනේ පිහිටි යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව මෙම කොප්පරා සකස් කර තිබෙනවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොප්පරා පූජාවට එක්ව සිටියා.

    Latest News