COVID-19 ව්‍යාප්තිය මැඩපැවැත්වීමට දිවයින පුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන්

මාර් 24, 2020

    COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින පුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.

    පොදු ප්‍රවාහන සහ ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථාන වෙත එහිදී විශේෂ අවධානය යොමුකර තිබේ. 


    පානදුර රෝහල වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් රෝහලට පැමිණිමට පෙර විශේෂ කාමරයකදී වෙබ් කැමරාවකින් පරීක්‍ෂා කොට කොරෝනා වෛරස  ආසාදිතයෙකු ද, නැද්ද යන්න පිළිබඳ තහවුරු කොට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ලසිත් එදිරිසූරිය මහතා, මෙය නිර්මාණය කර ඇත.
    ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ ජනාකීර්ණ වූ නගර නැවත විෂබීජානුහරණය කිරීම හැටන් දික්ඔය නගර සභාව සහ පොලිසිය එක්ව ඊයේ දිනයේ සිදු කළේය.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් විෂබීජානුහරණය සඳහා අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300ක් බෙදාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ සිදු කෙරිණ.

    කළුතර නගර සභාව, ගිනි නිවීමේ ඒකකය එක්ව දකුණු කළුතර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම හා බස් නැවතුම්පොළ විෂබීජානුහරණය කිරීම ඊයේ සිදු කළේය.
    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙත ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව අම්බලන්ගොඩ පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙකු නිවසේදීම නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කෙරිණ.
    විෂබීජානුහරණය සඳහා අවශ්‍ය බෙහෙත් ඉසින යන්ත්‍ර 150ක් බෙදාදීම කෑගල්ල නගර සභා පරිශ්‍ර යේදී ඊයේ සිදු කෙරිණ.
    කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය විසින් එම රෝහල් පරිශ්‍රය විෂබීජානුහරණය කළේය.


    හලාවත ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ අවට විෂබීජානුහරණය කිරීමේ වැඩසටහනක් ඊයේ සවස සිදු කෙරිණ. මහනුවර බස් නැවතුම්පොළ ඇතුළු ප්‍රදේශය විෂබීජානුහරණය කිරීම සිදු කෙරිණ.
    මිහින්තලේ නගරය විෂබීජානුහරණය කිරීම ඊයේ සිදු කෙරිණ. නගරයේ සියලු මංමාවත්, පාසල් ආශ්‍රිත භූමි, බස් නැවතුම්පොළ, බැංකු පරිශ්‍ර ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කෙරිණ.
    නාවලපිටිය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් නිෂ්පාදනය කළ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් නාවලපිටිය මහ රෝහලට අද පරිත්‍යාග කෙරිණ.
    පානදුර රෝහලේ රෝගී සත්කාර සේවා සිදුකරන වෛද්‍යවරුන්ට අවශ්‍ය ඇඳුම් කට්ටල එම රෝහලේම සකස් කෙරේ. ඒ, හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය එක්වයි.
    කළුතර සෞඛ්‍ය නිලධාරි කාර්යාල සහ නගර සභාවේ ඉල්ලීම් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විසින් කළුතර බෝධි පරිශ්‍රය විෂබීජානුහරණයට පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද ඊට ලැබිණ.
    ශ්‍රී ලංකා නාවික හමුදාව ද නිකවැරටිය සහ මහව ප්‍රදේශවල විෂබීජානුහරණය වැඩසටහන් අද ක්‍රියාත්මක කළේය. රසායනික ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කළේය.

    කොරෝනා වෛරසය ආදාසනය වූ රියදුරෙකු රැඳී සිටි නෝවුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා තිබේ. එහි හිමිකරු හා පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කෙරිණ.

    කාත්තන්කුඩි පොදු වෙළෙඳ පොළේ ද විෂබීජානුහරණය ඊයේ සිදු කෙරිණ.

    කන්තලේ පොලිස් කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හා බැංකු පරිශ්‍ර විෂබීජානුහරණය අද සිදු කෙරිණ.
    රත්නපුර නගරය විෂබීජානුහරණයට ලක් කෙරුණේ, මේ ආකාරයෙනි.

    Latest News