කොරෝනා මර්දනය හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට උපදෙස්

මාර් 23, 2020

    කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කරන අතර, රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු උපදෙස් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ඒ පිළිබඳ චක්‍රලේඛය අද නිකුත් කළේය. ඒ අනූව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ රාජ්‍ය සේවකයන් වෙත එම චක්‍රලේඛන මගින් උපදෙස් මාලාව දැනුම් දී තිබේ. ජනාධිපතිතුමාගේ නියමය පරිදි මාර්තු 12 වැනිදා නිකුත් කරන ලද උපදෙස් මාලාව අනූව මාර්තු 23 සිට 27 දක්වා රාජ්‍ය සේවකයන්ට සිය නිවෙස්වල සිට දුරස්ථ සේවා සැපයීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණ.

    දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් දුරකථන හා කෙටි පණිවුඩ මගින් කළ යුතු රාජකාරී සඳහා උපදෙස් ලබා දෙනු ඇති. මේ කාලය රජයේ නිවාඩු නොවන අතර, නිවසේ සිට රාජකාරී සඳහා දුරකථනයෙන් සම්බන්ධ වීමට සූදානම්ව සිටිය යුතුයි.

    නිවසේ සිට රාජකාරී කිරීමෙන් ස්වයං නිරෝධනය වන අතර, දුම්රිය,බස් රථ නැවතුම්පොළවල අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වළකිනවා. අත්‍යවශ්‍ය සේවාවන්ද, විදුලිය, දුරකථන, ඉන්ධන, බැංකු කටයුතු භාණ්ඩ ප්‍රවාහනය හා බෙදාහැරීම අඛණ්ඩව හා විධිමත්ව කිරීමට මෙය උපකාරී වනු ඇති. ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරවුම්හල්වල, මත්පැන් අලෙවිහල්වල,කඩසාප්පුවල හා භෝජනාගාරවල ගැවසීමෙන් හා විනෝද චාරිකාවල යෙදීමෙන් වළකින ලෙස රජය ඉල්ලා සිටිනවා.

    රටට අවශ්‍ය තරම් ආහාර, ජලය, ඉන්ධන ඇති අතර, අවශ්‍යතාවට වැඩියෙන් භාණ්ඩ රැස් කිරීමෙන් වැළකීම සියලුදෙනාගේ වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    සියලුම රජයේ නිලධාරීන්ගේ මාසික වැටුප අද දින ගෙවීමට පියවර ගෙන තිබේ. නිවසේ සිටින කාලය තුල නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමට මෙන්ම, අත්‍යවශ්‍ය භෝග වගාවන්ට මෙය අවස්ඡථාවක් කරගන්නා ලෙස ද රජය ඉල්ලා සිටියි. එමෙන්ම, දරුවන් හා වැඩිහිටියන් ගැන විශේෂයෙන් සැළකිලිමත් වන ලෙසත්, අවශ්‍ය දෑ මිල දී ගැනීමට තනිව වෙළෙඳපොළට යන ලෙසත් රජය ඉල්ලා දැනුම් දෙයි.

    රූපවාහිනී හා ගුවන් විදුලි සේවා විකාශය කරන ආගමික, අධ්‍යාපන, චිත්‍රපට, නාට්‍ය ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් නිවසේ සිට නැරඹීමට මෙම කාලය යොදා ගන්නා ලෙස ද රජය සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 17:21

    Latest News