අජිත් ප්‍රසන්නට එරෙහි චෝදනා පත්‍ර විභාගයට දින නියම වෙයි

මාර් 04, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙහි විත්තිකරු ලෙස නම් කර සිටින අජිත් ප්‍රසන්න මහතා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හෙයින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    මෙහිදී විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා සිටියේය. එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාව පළ කළේය.

    ඒ අනුව දෙපාර්ශවයේ එකඟතාව මත අදාළ නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

    ඉකුත් ජනවාරි මස 12 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරිපිට විභාග වන නඩු කීපයක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් අධිකරණ සංවිධාන පනතේ 19 වගන්තිය ප්‍රකාරව අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.

    එම චෝදනා පත්‍රය හේතුවෙන් විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහු ඇප මත මුදාහරිනු ලැබීය.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 11:55

    Latest News