ද.කොරියාවෙන්,ඉරානයෙන් හා ඉතාලියෙන් එන සියලු දෙනා දින 14ක් නිරෝධායනයට

මාර් 03, 2020

    දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් රට තුළට පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම මෙම නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (03) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

    අනතුරුව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව එහිදී ගන්නා ලද තීන්දු තීරණ පිළිබදව දැනුවත් කිරිම සදහා විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු අනාවරණය කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය....

    “චීන රජය මෙම වෛරසය මර්දනය කර ගැනීමට යම් ක්‍රමවේද භාවිත කරමින් යම් සාර්ථක මට්ටමකට පැමිණියත් අනෙක් රටවල් 262 ක රෝගය පැතිරීම තිබෙන නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය ගෝලීය තර්ජනයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

    “එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහටත්, මේ සම්බන්ධයෙන් පත් කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව විදිහටත් අපි යම් යම් වැදගත් තීන්දු කිහිපයක් අද උදෑසන රැස් වූ කොරෝනා වෛරසය මර්දනය සදහා පත් කළ ජාතික ක්‍රියාකාරි කමිටුව විසින් ගනු ලැබුවා. එයින් එක් තීන්දුවක් විදිහට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන නිසා ගුවන් සහ නැව් මගින් එම රටවල සිට ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණි පසු සියලුම මගීන් දින 15 ක නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    ලෝකයේ මෙම වෛරසය පැතිරෙමින් පවතින තත්ත්වය මර්දනය කිරීම සදහා නිති පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් ක්‍රියාකාරි කමිටුවක් දිනපතා රැස්කරවීමටත්, ඒ සමිබන්ධයෙන් කටයුතු කිරිමටත් අපි තීන්දු කළා.”

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා....

    “ලෝකයේ මෙම වෛරසය පැතිරීම සම්බන්ධව අපි අනතුරු තක්ෂේරුවක යෙදෙනවා. නවතම අවධානම් තක්ෂේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවලින් ලොකු අවධානමක් නැහැ.

    දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය කියන රටවල් අවධානම් තක්ෂේරුවේ ඉහළින්ම සිටිනවා. දකුණු කොරියාවේ රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි මස 26 දින සිට 4212 ක්, ඉතාලියේ 1689 ක්, ඉරානය 1000 කට අධික ප්‍රමාණයක් වශයෙන් රෝගීන් වාර්තා වනවා.

    අප රට තුල වෛරසය පැතිරීම පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලිය තුල ගුවන්තොටුපලේ සිට ආවේක්ෂණය කර දින 14 ක් දක්වා එම මගීන් සිටින ස්ථාන ආවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබෙනවා.

    ගුවන්තොටුපලේ නව පැමිණීමේ පිවිසුම් මාර්ග වැඩි කර තිබෙනවා. ප්‍රභූ පර්යන්තය ද ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුලත් කර තිබෙනවා.

    රට තුල 1954 ක පිරිසක් පසුවිපරමට ලක්වෙමින් පවතිනවා. මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 679 ක්, චීන ජාතිකයින් 747 ක්, කොරියාවෙන් පැමිණි 380 ක්, සහ වෙනත් අය 148 ක් වනවා.

    මෙම පසු විපරමට ලක්වන අයගෙන් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ මහනගර සීමාවේ. එම පිරිස 677 ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන වෙත ගොස් එම පිරිස් වල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා.

    සුඛෝපබෝගී මගී නෞකා නිරෝධායන හා රෝග වැළැක්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට පනතේ ලැබී ඇති බලතල අනුව අද දින සිට මගීන් ගොඩබැස්සවීම නවත්වනු ලැබුවා. එම නිවේදනය වරාය සංස්ථාවේ සභාපතිතුමාටත්, ආගමන විගමන පාලක තුමාටත් ඊයේ දින දැනුම් දුන්නා.

    නෞකා පැමිණීම නැවැත්තුවේ නැහැ. සේවා කටයුතු කරන්න, ඉන්ධන ලබාගැනීමේ කටයුතු කරන්න නමුත් මගින් ගොඩබිමට පැමිණීම තමයි වැළැක්වූවේ. මෙම වෛරසය රටට තුලට ඇතුලුව ජාතික ආපදා තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදී පැතිරිම පාලනය සදහා සෞඛ්‍ය අංශ නිරතුරුව කටයුතු කරනවා.”

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 13:34

    Latest News