මොහොමඩ් රූමිගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ

මාර් 03, 2020

    ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ හතරවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේ දී මොහොමඩ් රූමි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විදේශයක පැවැත්වෙන තේ ප්‍රදර්ශනයකට සහභාගිවීම සඳහා තම සේවාදායකයාට අප්‍රේල් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දුන්නේය.

    ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා ලිහිල් කරන ලෙසයි එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටීයේ.

    ඒ අනුව මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම ඉල්ලීමට අදාලව රහස් පොලිසිය විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණ.

    එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මොහොමඩ් මහතාට ඔහු ඉල්ලා සිටින කාල සීමාව සඳහා විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර අදාළ කාල සීමාව සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.

    මේ අතර මෙම සිද්ධිය තවත් සැකකරුවන් දෙදෙනෙකු ලෙස නම් කර සිටින සුදු වෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි සරත් කුමාර සහ අතුළ සංජීව මදනායක යන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණත.

    ඔවුන්ව නිරීක්ෂණය කිරීම සඳහා ආවරණය කර නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාරයෙන් නිළධාරීන්ට නියම කළේය.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 11:05

    Latest News