විදෙස් ගතවීමට චම්පිකගේ ඉල්ලීම ගැන කරුණු දැක්වීම ලබන 4

පෙබ 24, 2020

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ බරපතළ රිය අනතුරු සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට විදේශ ගතවීමට අවසර දෙන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව ලබන 4 වැනිදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී දැනට සිදු කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍යවරයාගේ රියැදුරු ලෙස කටයුතු කළ නිශාන්ත ප්‍රදීප් අල්විස්, සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල, සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් වශයෙන් සේවය කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළේය.

    එමෙන්ම අනතුර සිදුවූ දින රාත්‍රී 9.08 සිට අලුයම 3.25 දක්වා කාලසීමාව තුළ මෙහි පළමුවන විත්තිකරු වන හිටපු අමාත්‍ය චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකරු වන තුසිත දිලුම් කුමාර යන අයගේ ජංගම දුරකථන වලින් නිකුත් වූ සහ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳව සවිස්තර වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

    එම දුරකථන විශ්ලේෂණ වාර්තා පිරික්සීමේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනා ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කර තිබෙන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    එමෙන්ම සිද්ධිය වූ වකවානුවේ මෙම අපරාධ විමර්ශනයට අදාළව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා පක්ෂග්‍රාහි ආකාරයෙන් ක්‍රියා කර තිබේද? ඔහු විත්ති පාර්ශවයට සහනයක් ගෙන දෙන ආකාරයෙන් ක්‍රියා කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් එම පරීක්ෂණයේදී ඔහු පක්ෂග්‍රාහි ආකාරයට ක්‍රියා කර ඇති බවට කරුණු අනාවරණය වූවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

    එමෙන්ම මෙම නඩුවේ දෙවන සැකකරු වන අමාත්‍යවරයාගේ රියැදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නැමැත්තා මහෙස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් එම ප්‍රකාශය පිළිබඳව නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.

    මෙම නඩුවේ දෙවන විත්තිකාර දිලුම් තුසිත කුමාර නමැත්තාගෙන් පොලිසිය දෙවන වතාවටත් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා සිට අධිකරණයට ඉදිරිපත් වන තුරු තමා සැකකාර අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිටි බවට ඔහු පිළිගෙන තිබෙන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

    මෙහිදී සැකකාර පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට ලබන මස පෞද්ගලික සංචාරයක් සඳහා සති දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බව පැවසීය.

    ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ආදාළ කාල සීමාව සඳහා ලිහිල් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.කෙසේ වෙතත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ මෙම ඉල්ලීමට අදාළව තමන්ට කරුණු අධ්‍යයනය කිරීම සඳහා ඊට අදාළ ලේඛන ලබාදෙන ලෙසයි.

    ඒ අනුව මෙම ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය කරන ලේඛන රජයේ පාර්ශවයට ලබාදෙන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය විදේශගත වීම සදහා කරනු ලබන ඉල්ලීම පිළිබඳව කරුණු දැක්වීම මාර්තු මස 4 වැනිදා සිදු කරන ලෙස නියෝග කළේය.

    ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විමසීම මැයි මස 13 වැනිදා තෙක් කල් තබන බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 14:10

    Latest News